සාර්ක් කලාපය තුළ වෙළඳාම සම්බන්ධයෙන් ස්ථිර පියවර ගන්නා ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා ඉල්ලා සිටී

සාර්ක් කලාපය තුළ වෙළඳාම සම්බන්ධයෙන් ස්ථිර පියවර ගන්නා ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා ඉල්ලා සිටී

Pic1

ආරක්ෂක ගැටලු පිළිබඳව අවධානය පවත්වා ගනිමින්, කලාපය තුළ වෙළඳාම වැඩිදියුණු කිරීම සඳහා ස්ථීර පියවර ගන්නා ලෙස විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සාර්ක් සාමාජික රටවලින් ඉල්ලා සිටියේය. සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සමඟ එක්ව 2019 දෙසැම්බර් 10 වැනි දින ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති 35 වැනි සාර්ක් ප්‍රඥප්ති දිනය සැමරීමේ උත්සවයක දී ඔහු මේ බව පැවසීය.

ගෝලීය ජනගහනයෙන් 20% කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙසෙන දකුණු ආසියානු කලාපයේ, දැනට 6% ට වඩා පහළ මට්ටමක පවතින, වර්තමාන අසතුටුදායක කලාපීය වෙළඳ සංඛ්‍යා ලේඛන පිළිබඳව නිරතවීමේ අවශ්‍යතාව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. සාර්ක් කලාපයට අනුගමනය කළ හැකි ආදර්ශයක් ලෙස එතුමා ආසියාන් කලාපය සංසන්දනය කර දැක්වූ අතර, ලෝක ජනගහනයෙන් 9% කටත් වඩා අඩු ප්‍රමාණයක් වෙසෙන ආසියාන් කලාපය තුළ 22% කට වඩා වැඩි වෙළඳාමක් පවතී.

වෙළඳ ව්‍යාප්තිය සඳහා සාර්ක් කලාපයේ පවත්නා ශක්තිමත් ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ  අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ කුඩා ආර්ථිකයන්ට අනුබල දීම පිණිස වෙළඳ සාකච්ඡාවල දී නම්‍යශීලී වන ලෙස ඉල්ලා සිටියේය. පෙර නොවූ විරූ ස්වාභාවික විපත් හා අක්‍රමවත් කාලගුණික රටාවන්ට මුහුණ දී සිටින මෙම කලාපයට අභියෝගාත්මක කරුණක් වන පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

කොළඹ පිහිටි සාර්ක් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ව්‍යාපාරික ප්‍රජාව මෙම ප්‍රඥප්ති දින උත්සවයට සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2019 දෙසැම්බර් 10 වැනි දින

Pic2 Pic3

Print Friendly, PDF & Email
Please follow and like us:

Close