ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය

 විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය

ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය 2017 ඔක්තෝබර් මස 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ධුරයෙහි වැඩ භාරගත්තාය.

සිය වෘත්තීය ජීවිතය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇති ඒ මහත්මිය, දකුණු ආසියා සහ සාක් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන්ද, ආර්ථික කටයුතු සහ වෙළෙඳ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන්ද, ආර්ථික කටයුතු සහ වෙළෙඳ, දේශපාලන කටයුතු (බටහිර), මැදපෙරදිග සහ අප්‍රිකා යන අංශ භාර අතිරේක ලේකම්වරිය වශයෙන්ද සේවය කර තිබේ.

නෙදර්ලන්තයේ සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් කටයුතු කර ඇති ආශිර්වාදම් මහත්මිය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වශයෙන්ද අක්ත ගන්වනු ලැබ තිබිණි. ජර්මනියේ සහ පාකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ද ආශිර්වාදම්  මහත්මිය සේවය කොට ඇත.

ජාත්‍යන්තර සිවිල් සේවයෙහිද නිරතව සිටි ආශිර්වාදම් මහත්මිය සිවු වසරක් පුරා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි රසායනික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියද හෙබවූවාය.

 

Close