අමාත්‍ය, විදේශ අමාත්‍යාංශය

ජනාධිපති නීතිඥ, ගරු එම්.යූ.එම්. අලි සබ්රි (පා.ම.) මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය

සිය මූලික අධ්‍යාපනය කළුතර දී සහ කොළඹ සහිරා විද්‍යාලයෙන් ලැබූ ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්‍රි මැතිතුමා, 1992 වර්ෂයේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් විය. නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ කැපී පෙනෙන ශිෂ්‍ය නායකයකු  වූ එතුමා, නීති ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී.ල.නි.ප. නීති ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් තේරී පත් වූ අතර, නීති විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමට ද නායකත්වය ලබා දුන්නේය. එතුමා 1995 වර්ෂයේ දී නීතීඥවරයෙකු ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඇතුළත් විය.

ඉන් අනතුරුව පුද්ගලික නීති වෘත්තියට පිවිසි අලි සබ්‍රි මැතිතුමා, කෙටි කලක් තුළ දී නඩු කටයුතුවලට පෙනී සිටීම පිළිබඳව ඉතා සාර්ථක වෘත්තීය පරිචයක් පිහිටුවා ගත්තේ ය. ඉහළ ඉල්ලුමක් සහිත නීතීඥවරයෙකු වූ එතුමා, මහජන අවශ්‍යතා ආශ්‍රිත නඩු, සිවිල් වැරදි, වෛද්‍ය නොසැලකිල්ල, වාණිජ්‍ය සහ බුද්ධිමය දේපල නීතිය ඇතුළු නීති ආවරණය වන පුළුල් පරාසයක් කරා විහිදී ගිය ඉහළ පෙළේ සහ සුවිශේෂී නඩු කිහිපයක් සඳහා පෙනී සිටියේ ය. එතුමා මෙහෙයවූ නඩු බොහොමයක් ශ්‍රී ලංකා නීති වාර්තාවල අඩංගු වී ඇති අතර, එතුමා මෙහෙයවූ නඩුවල විනිශ්චයන් බොහෝ ප්‍රකාශනවල පළ වී ඇත. තමන් සිදු කළ කාර්යභාරය හේතුවෙන්, 2009 වර්ෂයේ නීති ජයග්‍රහණ සඳහා වූ වසරේ විශිෂ්ටතම තාරුණ්‍යය වෙනුවෙන් පිරිනමන සම්මානයෙන් ද එතුමා පිදුම් ලැබී ය. 

අධිකරණ කටයුතුවලට අමතරව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වූ එතුමා, එහි උප සභාපති සහ භාණ්ඩාගාරික තනතුරු ද හෙබවී ය. විධායක කමිටුවේ සාමාජිකයෙකු වූ එතුමා, කනිෂ්ඨ නීතිඥ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීති අධ්‍යාපනයේ අනාගතය (Future of the Legal Education) නමැති කමිටුවේ සභාපති වශයෙන් ද කටයුතු කළේ ය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ එතුමා, සිවිල්, අපරාධ සහ වාණිජ නීති ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත කීර්තිමත් නීතිඥවරුන් සහ ජනාධිපති නීතිඥවරුන්ගෙන් සුසැදි ව්‍යවස්ථාපිත ආයතනයක් වන, ශ්‍රී ලංකාව තුළ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ නීති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කළේය.

රාජ්‍ය නිලතල භාරගැනීමට ප්‍රථම අලි සබ්‍රි මැතිතුමා ජාතික තරුණ සේවා සභාව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ මණ්ඩල සහ විධායක සභාවල සේවය කළේ ය. ඔහු 1997 වර්ෂයේ දී සෞදි අරාබියේ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කළේ ය. තවද Ship for World Youth ‘Nippon Maru’ වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දුන් එතුමා, 2012 සහ 2022 යන වසරවල දී ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ දූත පිරිසෙහි සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කළේ ය.

සිය අද්විතීය කුසලතා වෙනුවෙන් විශිෂ්ටත්වයෙන්  පිදුම් ලැබූ  අලි සබ්‍රි මැතිතුමා, වෘත්තියෙන් විශිෂ්ටත්වයට පත් නීතිඥවරුන් සඳහා හිමිවන ඉහළම ගෞරවය වන ජනාධිපති නීතිඥවරයකු ලෙස  2012 වර්ෂයේ දී පත් කෙරිණි.

අලි සබ්‍රි මැතිතුමා 2020 අගෝස්තු 12 වැනි දින ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි. සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, අලි සබ්‍රි මැතිතුමා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය තුළ පෙර නොවූ විරූ, අභිලාෂකාමී සහ පුළුල් ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ ය. ඒ අනුව, අමාත්‍යවරයා විසින් දියත් කරන ලද අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් මේ වන විට නීති 100කට අධික සංඛ්‍යාවක් සංශෝධනය කොට හඳුන්වා දීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් පවතින අතර, මෙහි ඇතැම් නීති සියවසකට අධික කාලයක් මුළුල්ලේ වෙනස් නොවූ නීති වේ. මේ වන විට නිල සහ නිල නොවන සංගම්වල නීතිඥවරු තුන්සියයකට අධික පිරිසක් සිවිල් නීතිය, අපරාධ නීතිය සහ වාණිජ නීතිය ඇතුළු විශේෂිත ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රවලට අදාළ උපදේශක කමිටු 30කට අධික ප්‍රමාණයක සහ ප්‍රධාන අනු කමිටු 5ක සේවය කරති. තවද, අධිකරණ ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණ වැඩපිළිවෙලක් ද අලි සබ්‍රි මැතිතුමා විසින් අරඹා ඇත. එමෙන්ම, රට පුරා උසාවි පුළුල් කිරීම සහ නීති කටයුතු ආශ්‍රිත ප්‍රමාදයන් පිළිබඳ ගැටළු විසඳීම සඳහා විශේෂිත උසාවි හඳුන්වා දීම සඳහා ද එතුමා කටයුතු කොට ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ එතුමාගේ ප්‍රයත්නය ඇගයීමට ලක් කරමින්, 2021 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ උත්සවයක් ඇමතීම සඳහා එතුමාට ඇරයුම් ලැබිණි. කොවිඩ්-19 වසංගතය හා සබැඳි නීතිමය පැතිකඩ පිළිබඳව පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ රැස්වීමේ මුලසුන සඳහා එතුමා පත් කරන ලද අතර, 2021 වර්ෂයේ කොලොම්බියාවේ දී පැවති ලෝක නීති සම්මේලනය ඇමතීම සඳහා එතුමන්ට ඇරයුම් ලැබිණි.

අලි සබ්‍රි මැතිතුමා 2022 අප්‍රේල් මස 4 වැනි දින ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමඟ ප්‍රධාන සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. වෙත ගිය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසට එතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නායකත්වය ලබා දුන්නේ ය.

අලි සබ්‍රි මැතිතුමා 2022 ජූලි 22 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.

Print Friendly, PDF & Email

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close