විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිය පළමු ඉන්දියානු නිල සංචාරය සාර්ථකව නිම කරයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිය පළමු ඉන්දියානු නිල සංචාරය සාර්ථකව නිම කරයි

IMG-20200110-WA0020

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය පළමු නිල විදේශ සංචාරය වශයෙන් 2020 ජනවාරි 9-10 දිනවල දී ඉන්දියාවේ සංචාරයක නිරත විය. මෙම සංචාරය ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ආරාධනයක අනුව සිදුවූවකි.

මෙම සංචාරය මෑත දී ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඉහළ මට්ටමින් සිදු වූ සංචාරයක් ද වූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 නොවැම්බර් මස නිරත වූ ඉන්දියානු සංචාරයේ පසු විපරමක් ද විය.

මෙම සංචාරයේ දී අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඉන්දීය රජයේ විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශවල සහ කම්කරු හා රැකියා අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2020 ජනවාරි 09 වැනි දින නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මෙම රැස්වීමේ දී අමාත්‍යවරු දෙපළ අනෙකුත් කරුණු අතර, ආයෝජන, ආරක්ෂාව, ධීවර කටයුතු, සංවර්ධන සහාය සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති, සංචාරක කටයුතු, අධ්‍යාපනය සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව අතිශය සුහද හා ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. ගෝලීය දේශපාලන කරළියේ මෑත කාලීන ප්‍රවනතා පිළිබඳව ද ඔවුහු අවධානය යොමු කළහ. සාකච්ඡාවලින් අනතුරුව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලාංකික අමාත්‍යවරයාට ගෞරවයක් වශයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. එදින පෙරවරුවේ ඉන්දීය විදේශ කටයුතු ලේකම් විජේ ගෝඛලේ මහතා ද අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා බැහැදුටුවේය.

නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව අමාත්‍ය ආචාර්ය මහේන්ද්‍ර නාත් පාණ්ඩේ මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තාක්ෂණය මත පදනම් වූ ආර්ථික වර්ධනය, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සහ තරුණ හා නිපුණතා සංවර්ධනය සඳහා වන නව සැලසුම් සම්බන්ධයෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව එතුමාව දැනුවත් කළ අතර, එම ක්ෂේත්‍රයන්හි පුහුණු අවස්ථා ඇතුළු විශේෂඥ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගන්නා ලෙස ඉන්දීය පාර්ශ්වයට ආරාධනා කළේය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වයම ඉටා ගත්තේය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඉන්දියාවේ කම්කරු හා රැකියා රාජ්‍ය අමාත්‍ය (ස්වාධීන භාරකාර), සන්තෝෂ් කුමාර් ගන්ග්වාර් මැතිතුමා ද හමුවිය.

දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන වාර්ෂික වටිනාකමින් යුත් ද්විපාර්ශ්වික භාණ්ඩ හුවමාරුවක් ඇති වෙළඳපොළක් වන ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු ආයෝජන වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජනවාරි 10 වැනි දින ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) සාමාජිකයින් ද ඇමතීය. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ ව්‍යාපාරික නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද අමාත්‍යවරයා ආරාධනා කළේය.

විදේශ සබඳතා අමාත්‍යවරයා, ජනවාරි 10 වැනි දින නවදිල්ලියේ පිහිටි මහජන අවශ්‍යතා පිළිබඳ පර්යේෂණ හා උපදේශන සංවිධානයක් වන විද්‍යා හා පරිසර මධ්‍යස්ථානයෙහි ද සංචාරයක නිරත විය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සිය න්‍යාය පත්‍රයට අනුව ජනවාරි 10 වැනි දින ඉන්දියාවේ මහාබෝධි සංගමයේ නවදිල්ලි මධ්‍යස්ථානය නැරඹීමට ද ගිය අතර, එහි දී එතුමාට මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබුණි. එතුමා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ද ගොස් එහි කාර්ය මණ්ඩලය හමුවිය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීම් සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලි නුවර

2020 ජනවාරි 10 වැනි දින

 

IMG-20200110-WA0015 IMG-20200110-WA0016 IMG-20200110-WA0017 IMG-20200110-WA0018 IMG-20200110-WA0019 IMG-20200110-WA0021 IMG-20200110-WA0022 IMG-20200110-WA0023 IMG-20200110-WA0024 IMG-20200110-WA0025 IMG-20200110-WA0026

Print Friendly, PDF & Email
Please follow and like us:

Close