කොවිඩ්-19 වසංගතය හමුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියි.  

කොවිඩ්-19 වසංගතය හමුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය වැඩි දියුණු කරන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියි.  

75 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව ඊයේ සවස් යාමයේ (2020 ඔක්තෝබර් 14) පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 20 වැනි අතථ්‍ය රැස්වීමට (CFAMN) සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරමින් විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය ඇතිවීමත් සමඟම සෑම ක්ෂේත්‍රයකම පාහේ පැන නැගී ඇති බහු විධ වු අභියෝග ජයගැනීම සඳහා නවෝත්පාදන චින්තනයත්, සාමූහික සහ සමෝධානික උපාය මාර්ගත් අවශ්‍යවන බව ප්‍රකාශ කළේය.

ඊ-වාණිජ්‍යය හා ඊ-පාලනය මගින් පශ්චාත් කොවිඩ්-19 වසංගතය ලෝකයේ තරඟකාරී මායිම් අර්ථ දක්වන බව හුවා දක්වමින්, පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල, ආර්ථිකයන් සහ සේවාවන් ඩිජිටලීකරණය කිරීම වැඩි දියුණු කිරීම සඳහා සහය ඉල්ලා සිටියේය.  ඩිජිටල් ගණුදෙනු සඳහා ජාත්‍යන්තර ප්‍රමීතීන් සකස් කිරීම සඳහා දකුණු ආසියාවේ පළමු රට වශයෙන් කටයුතු කරන අතරවාරයේ ඩිජිටල් වේදිකාවක් හරහා ප්‍රථම වතාවට තේ හා රබර් වෙන්දේසියක් පවත්වමින් ශ්‍රී ලංකාව ලබාගත් අත්දැකීම පිළිබඳව එතුමා මෙහිදී සඳහන් කළේය. කොවිඩ්-19ට අදාළව දැනට සිදු කරගෙන යනු ලබන පර්යේෂණ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පවත්නා විද්‍යාත්මක සහ තාක්ෂණික විශේෂඥභාවය සහ දැනුම ඒකරාශී කිරීමටද එතුමා යෝජනා කළේය.  මේ සම්බන්ධයෙන්, කොවිඩ්-19 ආසාධන සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකරණය ඇතිවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා ඩෙංගු ආසාධනය සඳහා පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය ඇතිවන ආකාරය සම්බන්ධයෙන් ලබාගත් විශේෂ‍ඥභාවය බෙදා හදා ගැනීමෙහිලා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අතර පවත්නා හවුල්කාරිත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු කළේය.

මෙම අර්බුදය මඟින් ඇතිවන පෙර නොවූ විරූ අයහපත් ආර්ථික සහ සමාජ බලපෑම පිළිබඳව සඳහන් කළ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, දැනට පවතින දුෂ්කරතාවලින් මිදීම සඳහා ණය සහණ, ණය ආපසු ගෙවීම සඳහා කල් ලබාදීම සහ මූල්‍ය උත්තේජක කඩිනමින් අවශ්‍යවන බව හුවා දැක්වීය.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ කාර්යය සැලැස්ම යටතේ ශ්‍රී ලංකාව ඇප කැප වී සිදු කරන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින්, වර්ෂ 2030 වන විට හරිතාගාර වායු විමෝචන 30% කින් අඩු කිරීම සඳහා සහ ජලය, සූර්ය බලය හා සුළං ආශ්‍රිත විදුලිබලය වෙත යොමුවෙමින් අඩු කාබන් මට්ටමකින් යුත් සහ ආර්ථික වර්ධනයක් සහිත පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වන සහ පිරිසිදු අනාගතයක් කරා යාමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා දන්වා සිටියේය. ශ්‍රී ලංකාව ඇතුළුව කුඩා රටවල් සඳහා දේශගුණික මූල්‍ය වර්ධනය කිරීම සඳහා පවතින බාධක, අවධානම සහ අනාගත ඉඩ ප්‍රස්තා හඳුනාගැනීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කළේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ වර්තමාන සභාපතීත්වය දරන එක්සත් රාජධනියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් සහ එක්සත් රාජධානියේ පළමු රාජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අති ගරු ඩොමිනික් රාබ් මහතා විසින් මෙම රැස්වීමේ මුලසුන හොබවන ලදී. සම්ප්‍රදායානුකූලව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සමගාමීව පවත්වනු ලබන මෙම පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම මෙම වසරේ පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ අතථ්‍ය රැස්වීමක් ලෙස පවත්වන ලදී.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, එක්සත් රාජධානිය සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන හා  විදේශ අමාත්‍යාංශයේ යුරෝපා සංගම් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සේමසිංහ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වෙති.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝම්බර් 15

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close