ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන වෘත්තීය දායකත්වය විශිෂ්ඨයි  

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන වෘත්තීය දායකත්වය විශිෂ්ඨයි  

ඕස්ට්‍රේලියාවේ විවිධ අංශවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන් සුවිශාල වෘත්තීය දායකත්වයක් ලැබෙන බව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි මැතිණිය සඳහන් කර ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඉකුත් 13 දා ආණ්ඩුකාරවරිය බැහැ දුටු අවස්ථාවේ ඇය මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සබඳතා තව දුරටත් වැඩි දියුණු කළ හැකි බව ද ඇය එහිදී සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ කාර්මික හා වැඩිදුර අධ්‍යාපන ආයතන සමඟ සබඳතා පුළුල් කර ගැනිමෙන් ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පුහුණු ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගත හකි බවද ආණ්ඩුකාරවරිය හුළුගල්ල මහතාට අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ පවත්වාගෙන යන මිත්‍රශීලි ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් දියණු කර දෙරටේ වෙළඳ, සංචාරක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ වැදගත්කම කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මෙහිදී ආණ්ඩුකාරවරියට පෙන්වා දී තිබේ. කලාපයේ ආර්ථික සංවර්ධනය සඳහා ගුවන් හා මුහුදු ප්‍රවාහනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් ලැබෙන වාසියද හුළුගල්ල මහතා මෙහිදී අවධාරණය කර ඇත. සාක් කලාපය තුළ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු බව පෙන්වා දී ඇති හුළුගල්ල මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරකයින්ට ශ්‍රී ලංකාව හිතකර ගමනාන්තයක් බවද පෙන්වා දී ඇත.

මෙම හමුවේදී කොන්සල් ජනරාල් හුළුගල්ල මහතා ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැතිවරයාගේ සුබ පැතුම්ද ආණ්ඩුකාරවරියට පිරිනැමුවේය. ශ්‍රී ලංකාවේ දේශපාලන ජයග්‍රහණ හා කොවිඩ්-19 මර්ධනය කිරිමේදී අනුගමනය කරන සාධනීය ක්‍රියා මාර්ග පිළිබඳවද මෙම හමුවේදී දිර්ඝ ලෙස සාකචිඡා කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සිඩ්නි

2020 ඔක්තෝබර් 14 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close