දෙරටේ  ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

දෙරටේ  ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 ජනවාරි 31 වැනි දින නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා හමුවිය.

ආචාර්ය ජයශංකර් මැතිතුමා මෑතක දී මෙරට සිදු කළ ද්විපාර්ශ්වික සංචාරයේ ප්‍රතිඵල ඔස්සේ ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සහ පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් සාකච්ඡා පවත්වන ලදී.

ආචාර්ය ජයශංකර් මැතිතුමා 2023 ජනවාරි 20 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. එතුමා එම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. තවද එතුමා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ නිල සාකච්ඡා පැවැත්වී ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉන්දීය සාගර කලාපය පිළිබඳ සම ලේකම් පුනීත් අග්‍රවාල් සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.

 ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 පෙබරවාරි 1 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close