බහරේන රාජධානිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

බහරේන රාජධානිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

බහරේන රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය 2023 ජනවාරි 30 වැනි දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා ය.

නම් කළ තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර එහිදී පවත්වන ලද චාම් උත්සවයකින් අනතුරුව එතුමිය සිය වැඩකටයුතු ආරම්භ කළා ය. ශ්‍රී ලංකාවේ  සම්ප්‍රදායික ආහාර වන කිරිබත්, කැවුම් සහ කොකිස් මෙම අවස්ථාවේ දී පිළිගන්වන ලදී.

සිය කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිනිය, ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සහයෝගිතාව මෙන්ම පුද්ගලාන්තර සබඳතා මත පදනම්ව කටයුතු කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළා ය.

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ශ්‍රී ලංකා රජය සතු දැක්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් පළ කළ නම් කළ තානාපතිනිය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතු කාර්යභාරය පිළිබඳව අවධාරණය කළා ය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කොන්සියුලර් සහ සුබසාධන සේවා ප්‍රශස්ත ලෙස ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද තානාපති විජේරත්න මෙන්ඩිස් මැතිනිය විසින් අවධාරණය කරන ලදී.

වර්ෂ 1996 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගත් කණ්ඩායමේ සාමාජිකාවක් වන තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය, මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු, කොන්සියුලර් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් යන අංශයේ  අතිරේක ලේකම් (වැඩ බලන) ලෙස සේවය කළා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මනාමා

2023 පෙබරවාරි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close