ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම්/වාණිජ්‍ය කටයුතු ශ්‍රීමාලි ජයරත්න මහත්මිය සමඟ එක්ව, ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DCCI) සඳහා අභිනවයෙන් පත් වූ සභාපති සමීර් සත්තාර් මහතා සමඟ 2023 ජනවාරි 29 වැනි දින ඩකා හි පිහිටි වාණිජ හා කර්මාන්ත මණ්ඩල කාර්යාලයේ දී හමුවක් පැවැත්වී ය.

සිය අදහස් පළ කළ  ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සමීර් සත්තාර් මහතා, පසුගිය වසර පහ තුළ දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් වැඩිදියුණු වූ ධනාත්මක වර්ධනය අගය කළේ ය. වරාය කළමනාකරණය, යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර හා සබැඳි තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ය. ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම (PTA) සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු තබා ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා  ව්‍යාපාරාන්තර රැස්වීම් සහ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමට සහ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සඳහා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට එහි සභාපතිවරයා පොරොන්දු විය.

දෙරට අතර ක්‍රියාත්මක වන වරණීය වෙළඳ ගිවිසුම අවසන් කිරීම, සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ බංග්ලාදේශ ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම යනාදිය දෙරටේ ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන ප්‍රධාන ප්‍රමුඛ ක්ෂේත්‍ර බව මහ කොමසාරිස්වරයා විසින් සඳහන් කරන ලදී. තොරතුරු තාක්ෂණ අංශය ආශ්‍රිත සහයෝගිතාව, නාවික කටයුතු, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතාබරි වැනි ගැඹුරු මුහුදු වරායන් සමාන්තරව සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය, කෘෂිකර්මය සහ ඖෂධ  යන ක්ෂේත්‍ර ආශ්‍රිත සහයෝගිතාව පිළිබඳව ද එතුමා තවදුරටත් යෝජනා කළේ ය. තවද එතුමා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පවතින ආයෝජන අවස්ථා සොයා බලන ලෙසද ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වෙත ආරාධනා කළේ ය. බෙංගාල බොක්ක සතු උපායමාර්ගික වැදගත්කම සහ නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද මහ කොමසාරිස්වරයා විසින් අවධාරණය කරන ලදී.

බංග්ලාදේශයේ සේවය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර හමුවක් පැවැත්වීමට මහ කොමසාරිස්වරයා සහ ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා සිය එකඟත්වය පළ කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2023 ජනවාරි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close