ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අනාගතය පිළිබඳ සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර සිදු කළ ප්‍රකාශය 2023 සැප්තැම්බර් 21 වැනි දින

ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අනාගතය පිළිබඳ සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර සිදු කළ ප්‍රකාශය 2023 සැප්තැම්බර් 21 වැනි දින

ගරු සභාපතිතුමනි,

ගරු අමාත්‍යවරුනි,

සම්භාවනීය අමුත්තනි,

‘අනාගතය පිළිබඳ සමුළුව’, සමාජික රටවලට “පරපුරකට වරක් පමණ ලැබෙන අවස්ථාවක්” ලෙස වෙසෙසින් හැඳින්වේ. අපිදු ඊට එකඟ වන්නෙමු. ගෝලීය ප්‍රජාවක් ලෙස අප මුහුණ දෙන දැවැන්ත සමකාලීන අභියෝග මෙන්ම, අනාගතයේ දී මුහුණ දීමට නියමිත නව අභියෝග පිළිබඳව සමාලෝචනය කිරීම, ඊට විශේෂාකාරයෙන් ප්‍රතිචාර දැක්වීම සහ විසඳුම් සෙවීම සඳහා වඩාත්ම හොඳ සංසදය වන්නේ ද මෙම සමුළුව යි. දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නැගී එන නව අභියෝග, ආහාර පිළිබඳ අනාරක්ෂිතභාවය සහ ලෝකයේ බොහෝ කලාපවල පවතින ගැටුම් යනාදිය මිනිසුන්ගේ ගැහැට සහ පරිසර විනාශය තීව්‍ර කර ඇත. එබැවින්, මෙම ප්‍රබල ගෝලීය  අභියෝග මැඩළීම  සඳහා අප විදහා දක්වන සහයෝගීතාව ඉහළ නැංවීමට දරන ප්‍රයත්න ප්‍රමාද නොකළ යුතු ය.

මෙම සමුළුව: එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම පිළිබඳ අපගේ කැපවීම නැවත තහවුරු කිරීම, ඵලදායී බහුපාර්ශ්වික කටයුතුවල නිරත වීම සහ සංවර්ධන මූල්‍යකරණය පිළිබඳ පවත්නා කැපවීම වැඩිදියුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන මහඟු  අවස්ථාවකි. මෙම සමුළුව: 2030 වසරේ න්‍යාය පත්‍රය, අඩිස් අබාබා ක්‍රියාකාරී න්‍යාය පත්‍රය මෙන්ම මීට සුළු මොහොතකට පෙර අවසන් වූ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවේ ප්‍රතිඵල මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) වැනි අනෙකුත් බහුපාර්ශ්වික වේදිකා සමඟ සමීපව අනුගත විය යුතු ය. ඩිජිටල් අංශය ආශ්‍රිතව පවතින භේදය, තාක්ෂණය හේතුවෙන් එල්ල වන තර්ජන සඳහා විසඳුම් ලබා දෙන සාධාරණ ගෝලීය ඩිජිටල් පරිවර්තනයක් සහතික කිරීම, ත්‍රස්තවාදය මැඩළීමේ උත්සාහයන් සහ ජාත්‍යන්තර මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය මෙම සමුළුවේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර වේ.

අනාගතය පිළිබඳ මෙම සමුළුව, අප සැවොම පතන අනාගතය පිළිබඳ අපේක්ෂාවලින් සුසැදි අතර එම අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය නවමු ගෝලීය සම්මුතියක් එය හරහා නිර්මාණය වේ.

මෙය සාක්ෂාත් කරගැනීම සඳහා අප සිදු කළ යුත්තේ කුමක්ද? යන පැනය මෙහිදී ඉස්මතු වේ. අප මෙම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ උස් පහත් භේදය, ආත්මාර්ථකාමීත්වය සහ එකිනෙකා කෙරෙහි සැකය සහිත චින්තනයකින් ද? නැතහොත් වඩාත් පැහැදිලි, අවංක බවින් යුක්ත සහ හෘදයාංගම ප්‍රවේශයකින් ද? අප මෙම අභියෝගයට මුහුණ දීමට සූදානම් ද? එසේ නොමැති නම්, අපැහැදිලි ගමනාන්තයක් සහිත අනාගතය පිළිබඳ සමුළුවකට අප උද්‍යෝගයෙන් සූදානම්ව වන්නෙමු ද? සහශ්‍ර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් අප අසාර්ථක වූ අතර, තිරසාර සංවර්ධන ඉලක්කවල සාර්ථකත්වය ළඟා කරගැනීමට සැලැස්මක් සොයා ගැනීම සඳහා අප මහත් වෙහෙසක් දරමින් සිටින්නෙමු. එබැවින් හුදෙක් අපට සාක්ෂාත් කරගත නොහැකි ඉලක්ක සමූහයක් පමණක් ඉතිරි කරන සමුළුවක් අපට අවශ්‍ය නොවේ. අපට අපගේ මතු පරම්පරාව අතහැර දැමිය නොහැක.

සභාපතිතුමනි,

උත්තර සහ දක්ෂිණ යන දෙඅංශයේම සාමාජික රාජ්‍යයන්ට ගෝලීය අභියෝග හමුවේ වඩාත් ඉහළ සහයෝගයකින් යුතුව ප්‍රතිචාර දැක්වීමට හැකි, ක්‍රියාකාරී ප්‍රතිඵල ගෙන දෙන සමුළුවක් බවට මෙම සමුළුව පත්වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව යි. අදාළ යුතුකම් ඉටු කිරීම සඳහා ගෝලීය මට්ටමෙන් ප්‍රමාණවත් දේශපාලනමය උද්‍යෝගයක් නොමැති නම්, අපගේ ප්‍රකාශයන් සියල්ල අක්‍රීය හා උදාසීන අයුරින් පවතිනු ඇති බව අප මතක තබා ගත යුතු ය. අප මුහුණ දෙන අභියෝගවලින් අප උගත යුත්තේ: දැඩි අසමානතා, අයුක්තිය සහ අසාධාරණකම් හරහා පුළුල් මානව ප්‍රජාවක් පීඩාවට පත් කරන්නේ නම්, සමෘද්ධිමත්භාවය ළඟා කරගැනීමට අප අපොහොසත් වන බව ය.

අප සතු යුතුකම් ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා විශ්වාසය සහ ගෝලීය සහයෝගීතාව යළි ගොඩනැගීම ඉතා වැදගත් වේ. අප මෙම සමුළුව සමබන්ධයෙන් අපගේ සාකච්ඡා අඛණ්ඩව පවත්වන විට, අපගේ විශ්වාසය සහ සහයෝගීතාව වඩවන ක්‍රියාවන්හි නිරත වීමට ප්‍රමාණවත් කාලයක් උදා වේ. එවැනි ක්‍රියා මෙම සමුළුවට ජීවය ලබා දෙනු ඇත. එවිට මෙම සමුළුව “පරපුරකට වරක් ලැබෙන අවස්ථාවක්” බවට පත් වනු නියත ය.

  • පළමුව, අපට අවශ්‍ය වන්නේ යුද ගැටුම්වලින් තොර සාමකාමී ලොවකි - බලවත් රාජ්‍යයන් යුද ගැටුම් මෙහෙයවන විට සහ කුඩා රාජ්‍යයන් එහි ගොදුරු බවට පත්වන වාතාවරණයක් හමුවේ අපට එකම වේදිකාවක් මත සාමය සහ සමෘද්ධිය පිළිබඳ සාකච්ඡා පැවැත්විය නොහැක.
  • දෙවනුව, සම්පත් නොමැති නම් අපට කිසිවක් සාක්ෂාත් කරගත නොහැකි බව අප අවබෝධ කර ගත යුතු වේ. එබැවින්, තිරසාර සංවර්ධන ඉලක්ක, ණය තිරසාරභාවයට අනුකූලව ප්‍රතිසංස්කරණය කරන ලද සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලයක් සපයන ජාත්‍යන්තර මූල්‍ය සැකැස්මක් සඳහා වන ප්‍රවේශයකට යොමු වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව නැවත වරක් අවධාරණය කර සිටියි.
  • තෙවනුව, බහුපාර්ශ්විකත්වය විනිවිදභාවයෙන් හා අවංකභාවයෙන් විය යුතු බවත්, ද්විත්ත්ව ප්‍රමිතීන් ඊට ඇතුළත් නොවිය යුතු බවත් අවබෝධ කරගත යුතු ය. එකම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාමාජික රටවල් දෙකකට විවිධ ආකාර දෙකකින් සලකන්නේ නම් අපට විශ්වාසය ගොඩනගා ගත නොහැක.

ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවලිය තුළ සිය කාර්යභාරය ඉටු කිරීම සඳහා කැපව සිටියි. අපද, අනෙකුත් රටවල් මෙන්ම, ගෝලීය සිදුවීම් හේතුවෙන් අභියෝග රැසකට අඛණ්ඩ මුහුණ දෙමින් සිටින්නෙමු. එහෙත් එම ගැටලු හමුවේ යථා තත්ත්වයට පත් වීමේ සුබවාදී අපේක්ෂාවෙන් අපි පසුවන්නෙමු. අපට හිතෛශී රාජ්‍යයන් තීරණාත්මක අවස්ථාවලදී ලබා දුන් සහය වෙනුවෙන් ද අපි අපගේ කෘතඥතාව පළ කර සිටිමු.

දේශගුණික විපර්යාස සහ දැඩි කාලගුණ තත්ත්වයන්, පරිසර විනාශය, ජෛව විවිධත්වයට එල්ල වන හානි, දේශසීමා ආශ්‍රිත ත්‍රස්තවාදය හෝ සමූල ඝාතන සඳහා යොදා ගන්නා අවි භාවිතය යනාදිය මිනිසා විසින් නිර්මාණය කරන ලද බාධක හඳුනාගෙන නොමැත යන මූලික යථාර්ථය අවධාරණය කිරීම සඳහා සුදුසුම කාලය මෙම සමුළුව හරහා උදා වී ඇත. සුරක්ෂිත බව පසක් වන්නේ අප සියල්ලන්ම සුරක්ෂිත වුවහොත් පමණි. ගෝලීය ගැටලු සඳහා වන බහුපාර්ශ්වික විසඳුම් වෙත ළඟා වීමට නම්, මෙම මූලික යථාර්ථය හඳුනාගැනීම ඉතා වැදගත් ය. ‘කිසිවෙකු අතනොහැර’ ඉදිරියට ගමන් කිරීමේ හැකියාව උදාවන්නේ එවිට ය.

අනාගතය පිළිබඳ මෙම සමුළුව සඳහා වන අන්තර් රාජ්‍ය සූදානම සඳහා ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් කැපවී සිටින අතර, ඊට අදාළව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බවත්, තිරසාර සංවර්ධන ඉලක්ක යළි සාර්ථක තරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් අපි විශ්වාස කරමු.

සභාපතිතුමනි,

ස්තුතියි

​..................................

 

අමාත්‍යවරයා සිදු කළ ඉහත ප්‍රකාශය   https://youtu.be/k1v-Mk3Se1Q?feature=shared හරහා නැරඹිය හැකි ය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close