විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) බලාත්මක කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් 2023 සැප්තැම්බර් 21 වැනි දින නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

සියලු දෙනාටම සුබ දහවලක්!

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම පිළිබඳ යුරෝපා සංගමයේ 14 වැනි වගන්තිය සම්මන්ත්‍රණය නිමිත්තෙන් පවත්වන මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් පළ කිරීමට ලැබීම සම්බන්ධයෙන් මාගේ සතුට පළ කර සිටිමි. පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව විසින් මෙම විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම අපරානුමත කරන ලදී.

ශ්‍රී ලංකාව මෑතක දී මෙම ගිවිසුම අපරානුමත කළේ, න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීම සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව තමන් දරන ශක්තිමත් සහ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව ය. 1996 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා විවෘත කර දින කිහිපයකට පසුව ඊට අත්සන් තැබීම සඳහා ප්‍රථමයෙන් ඉදිරිපත් වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් විය. 1996 වසරේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම් සංවිධානය (CTBTO) සමඟ පහසුකම් ගිවිසුමක් අත්සන් කළ දහතුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්විය. ඒ අනුව, මහනුවර පල්ලේකැලේ දී සහායක භූ කම්පන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කරන ලදී.

විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා සහ CTBTO කණ්ඩායම මෙම ගිවිසුම බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමෙහිලා දරන දැඩි උත්සාහය ද මාගේ පැසසුමට ලක් වේ. ඔවුන්ගේ ප්‍රයත්න හේතුවෙන් ගිවිසුමේ රාජ්‍ය පාර්ශ්වකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

1996 වසරේ දී මෙම ගිවිසුම සම්මත කරගත් දින සිට අප ස්ථානීය පරීක්‍ෂණ (OSI) අංශය සමඟ නිරන්තර අන්තර්ක්‍රියා පවත්වමින් ගිවිසුමේ කාර්යයන් සඳහා සක්‍රීයව සහය ලබා දී ඇත්තෙමු. මීළඟ ස්ථානීය පරීක්‍ෂණ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය (IFE) 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ  පැවැත්වීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාව ඒ පිළිබඳ සතුටට පත් වේ. ලොව පුරා සිටින තාක්ෂණික විශේෂඥයින් සහ අනෙකුත් සහභාගිවන්නන් 180 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වනු ඇත. CTBTO හි ස්ථානීය පරීක්‍ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ තවදුරටත් එම කර්තව්‍යයන් ඉහළ නැංවීම සඳහා පවතින අවස්ථා හඳුනාගැනීම සඳහා අවස්ථාව සලසන්නක් බවට මෙම අභ්‍යාසය පත් වනු ඇත.

මෙම ගිවිසුම සම්මත වීමේ 26 වැනි වසර මෙම වසරට යෙදේ. ගිවිසුම බලාත්මක වීමට බොහෝ කල් ගත වුවද, මෙතෙක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කිරීම අපගේ යුතුකමකි. මෙම ගිවිසුම, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සහ න්‍යෂ්ටික අවිහරණය සඳහා වන ගෝලීය පාලන තන්ත්‍රයේ වැදගත් සන්ධිස්ථානයකි. එය විනාශකාරී න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සාමූහික විශ්වාසය ගොඩනැගීමේ පියවරක් වන අතර, සීතල යුද වාතාවරණයක් පැවති සමයේ දී භයානක න්‍යෂ්ටික අවි භාවිතය ඵලදායි ලෙස මැඩපැවැත්වීමට ද සමත් විය. මීට අමතරව, ගිවිසුම් සත්‍යාපනය සඳහා වූ පාලන තන්ත්‍රය, මනා ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතියක් සහ ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. එම සත්‍යාපන පද්ධතියට අමතර සිවිල් සහ විද්‍යාත්මක යෙදුම් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අපගේ සතුට පළ කර සිටිමු.

මෙම ගිවිසුම බලාත්මක වීමට මත්තෙන්, ගිවිසුමේ අරමුණු සම්බන්ධයෙන් තමන් සතු දැඩි කැපවීම නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාව, මෙම ගිවිසුම වූ කලී න්‍යෂ්ටික අවි ව්‍යාප්තියට එරෙහි වන සහ න්‍යෂ්ටික තර්ජනවලට එරෙහිව අපගේ සාමූහික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන හොඳම සහතිකය ලෙස හඳුනාගෙන ඇත. නැඟී එන භූ දේශපාලනික බලපෑම් පිළිබඳ වර්තමාන යථාර්ථය හමුවේ සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සමාලෝචන සමුළුවට අදාළව සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබා ගැනීමට අප මෑතකාලීනව අපොහොසත් වූයෙමු. එබැවින්, එවැනි වාතාවරණයක් හමුවේ  මෙම ගිවිසුම අපට අතිශයින් වැදගත් වේ. විශේෂයෙන්ම මෙම ගිවිසුම බලාත්මක කිරීම සඳහා එය අපරානුමත කළ යුතු රාජ්‍යයන්, ඒ සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සහ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විදහා දක්වන දිගුකාලීන කැපවීම ස්ථිරව පවතිනු ඇති අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට ද අපි කැප වන්නෙමු.

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම (TPNW) සමඟ ශ්‍රී ලංකාව ආබද්ධ වීමට අදාළ සාධන පත්‍රය පසුගිය අඟහරුවාදා දින තැන්පත් කිරීමට හැකි වූ බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

ස්තුතියි

Print Friendly, PDF & Email
Please follow and like us:

Close