ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (TPNW) සඳහා එකඟත්වය පළ කරයි

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (TPNW) සඳහා එකඟත්වය පළ කරයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 සැප්තැම්බර් 19 වැනි දින, න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට (TPNW) එකඟත්වය පළ කිරීම සඳහා වන සාධන පත්‍රය තැන්පත් කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව එම ගිවිසුමේ 69 වැනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්විය.

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ අතර එය 2017 ජූලි 7 වැනි දින සම්මත කරන ලදී. එය සම්මත කිරීමට පක්ෂව ඡන්දය පළ කළ රාජ්‍යයන් 122 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් විය. මෙම ගිවිසුම පිළිබඳව පැවති සාකච්ඡා ක්‍රියාවලියට ඉවහල් වූ විවෘතාන්ත ක්‍රියාකාරී කණ්ඩායම් (OEWG) ක්‍රියාවලියට ශ්‍රී ලංකාව ද සක්‍රීය ලෙස සහභාගී වී දායකත්වය ලබා දුන්නේ ය. මෙය 2016 වසරේ දී ජිනීවා නුවර දී පැවැත්විණි. “හැකි ඉක්මනින්” මෙම ගිවිසුමට සම්බන්ධ වන ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින මෙම එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල යෝජනාවට පක්ෂව අඛණ්ඩව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකාව එම ගිවිසුමට අදාළ විශ්වීය අනුගත වීම ප්‍රවර්ධනය කර ඇත.

අපරානුමත කිරීම් 50 කින් අනතුරුව, එනම් 2021 ජනවාරි 22 වැනි දින සිට මෙම ගිවිසුම බලාත්මක විය.

න්‍යෂ්ටික අවි හෝ වෙනත් න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, අත්පත් කර ගැනීම, සන්තකයේ තබා ගැනීම හෝ ගබඩා කිරීම යනාදිය න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (TPNW) හරහා රාජ්‍ය පාර්ශ්වයන්ට තහනම් කෙරේ.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි භාවිතයෙන් වැළකී සිටීම සඳහා වන දිගුකාලීන කැපවීම, න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම හරහා, යළි තහවුරු කෙරේ. ශ්‍රී ලංකාව මෙම පසුබිම හමුවේ එනම්, 2023 ජූලි 25 වැනි දින විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම ද (CTBT) අපරානුමත කළේ ය.

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ නිරායුධකරණ කටයුතු පිළිබඳ ඉහළ නියෝජිත ඉසුමි නකමිට්සු, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ, නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ සහ එක්සත් ජාතීන්ගේ නීති කටයුතු පිළිබඳ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 සැප්තැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close