කොන්සල් ජනරාල් ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලයේ සහකාර උපකුලපතිනිය හමුවෙයි

කොන්සල් ජනරාල් ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලයේ සහකාර උපකුලපතිනිය හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වල්සාන් වෙතොඩි මහතා කලාඩි හි ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ආරාධනයකට අනුව එහි සංචාරයක නිරත විය.

ශ්‍රී සංකරාචාර්ය සංස්කෘත විශ්වවිද්‍යාලය ඉගැන්වීම, පර්යේෂණ සහ නවෝත්පාදන යන අංශයන් හි ඉන්දියාවේ පුරෝගාමී සංස්කෘත විශ්වවිද්‍යාල වලින් එකකි. සංස්කෘත, අනෙකුත් ඉන්දියානු සහ විදේශීය භාෂා, සමාජ විද්‍යාව සහ ලලිත කලා පිළිබඳ දැනුම ලබා දීම අරමුණු කරගනිමින් විශ්වවිද්‍යාලය 1993 දී ආරම්භ කරන ලදී.

සහකාර උපකුලපති ආචාර්ය කේ. මුතුලක්ෂ්මි සහ විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන අංශ ප්‍රධානීන් (HOD) විසින් කොන්සල් ජනරාල්වරයා වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමීමෙන් මෙම සංචාරය ආරම්භ විය. ඉන් අනතුරුව ශ්‍රී සංකරාචාර්ය තුමාගේ ඉගැන්වීම්, හින්දු ආගම සහ බුද්ධාගම අතර සමානකම් සහ කේරළය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ඓතිහාසික සබඳතා පිළිබඳව ආචාර්ය මුතුලක්ෂ්මි සහ විශ්වවිද්‍යාලයේ සියලුම අංශ ප්‍රධානීන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්විණ.

අන්තර් ක්‍රියාකාරී සැසිය අතරතුර දී, ශ්‍රී සංකරාචාර්ය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර සහයෝගීතාවයක්, සහකාර උපකුලපති සහ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සුසෑන් තෝමස් විසින් යෝජනා කරන ලදී. දෙරට අතර දැනුම හා සංස්කෘතිය හුවමාරු කරගැනීමට පහසුකම් සැලසෙන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමේ හැකියාව මෙම සාකච්ඡාවලට ඇතුළත් විය. විශ්වවිද්‍යාලය විසින් විශ්වවිද්‍යාලයීය ගෘහ නිර්මාණ ශිල්පය සහ සිසුන්ට සපයනු ලබන පහසුකම් ප්‍රදර්ශනය කරන ලද විශ්වවිද්‍යාල චාරිකාවක් ද සහකාර උපකුලපතිනිය විසින් සංවිධානය කරන ලදී. සංචාරයේ සංස්කෘතික අංගයක් ලෙස සිසුන් විසින් සම්භාව්‍ය ඉන්දියානු සංගීත සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

විශ්වවිද්‍යාල සාමාජිකයින් වෙත තිළිණ වශයෙන් ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත පිරිනැමීමෙන් සංචාරය අවසන් විය. ශ්‍රී ලාංකේය ප්‍රවීණ චිත්‍ර ශිල්පී සෝලියස් මෙන්ඩිස් විසින් කැලණිය රජමහා විහාරයේ අඳින ලද බිතු සිතුවම් දෙකේ ප්‍රතිනිෂ්පාදන විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනයට යැවීමට කොන්සල් ජනරාල්වරයා කටයුතු කළේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2023 සැප්තැම්බර් 22

Print Friendly, PDF & Email
Please follow and like us:

Close