මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය

මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය

2022 ජූලි 21 වැනි දින නෙදර්ලන්තයේ හේග් නුවර සිදු වූ මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි. එතුමා ක්‍රිස් පින්ටෝ යන නමින් ප්‍රකටව සිටියේ ය. 1967 වර්ෂයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශය පිහිටවූ පළමු නීති උපදේශකවරයා වන්නේ ද පින්ටෝ මහතා ය.

පින්ටෝ මහතා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට පාත්‍ර වූ  නීති විශාරදයෙකි. පේරාදෙණියේ  ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරු එතුමා, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය. තවද එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මැග්ඩලීන් විද්‍යාලයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂවේදී උපාධියක් ද ලැබී ය.

එතුමා දැරූ ප්‍රධාන තනතුරු කිහිපයක් පහත දැක්වේ:

  • 1967-76 - විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශක සහ නීති අංශයේ ප්‍රධානියා
  • 1976-80- ජර්මානු ෆෙඩරල් ජනරජයේ සහ ඔස්ට්‍රියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති
  • 1968-69- වියානා නුවර පවත්වන ලද ගිවිසුම් පිළිබඳ නීතියට අදාළ එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත
  • 1967-80 - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හයවැනි (නීති) කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත
  • 1968-82- මුහුදු පත්ල පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත. මෙහිදී 1980-81 කාලය සඳහා ශ්‍රී ලංකා දූත පිරිසෙ හි සභාපතිත්වය දැරී ය.
  • 1971-75- ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට මුහුදු පත්ල සඳහා වන ජාත්‍යන්තර පාලන තන්ත්‍රය පිළිබඳ සම්මන්ත්‍රණයේ සමස්ත සාකච්ඡා කණ්ඩායමේ සභාපති
  • 1973-81- එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජික සහ 1980 වර්ෂය සඳහා වූ කොමිසමේ සභාපති.
  • 1982 – 2011 වර්ෂය සඳහා ඉරාන- එක්සත් ජනපද විනිශ්චය සභාවේ මහ ලේකම්
  • හේග් නුවර නිත්‍ය තීරකීකරණ අධිකරණයට, අන්තර්ජාතික ආයෝජන ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය (ලෝක බැංකුව) විසින් පවත්වාගෙන යනු ලබන තීරකීකරණ ලැයිස්තුවට සහ සමථකරුවන්ගේ ලැයිස්තුවට, VII වැනි ඇමුණුමට අනුකූලව පවත්වාගෙන යනු ලබන තීරකකරුවන්ගේ ලැයිස්තුවට සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ  V වැනි ඇමුණුමට අනුව පවත්වාගෙන යනු ලබන සමථකරුවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද තීරකකරුවෙකු ලෙස කටයුතු කිරීම.
  • CIETAC හි (චීන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ තීරකීකරණ කොමිසම) තීරකීකරණ මණ්ඩලයේ සාමාජික
  • නිත්‍ය තීරකීකරණ අධිකරණයේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර තීරකයෙකු ලෙස කටයුතු කිරීම සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ VII වැනි අමුණුම යටතේ ආසියානු රටවල් දෙකක් අතර තීරකීකරණ ක්‍රියාවලියක සභාපතිවරයා ලෙස කටයුතු කිරීම
  • ජාත්‍යන්තර නීතිය පිළිබඳ ආයතනයේ (Institute de Droit International) සමාජික (1989 වර්ෂයේ සිට)
  • ජාත්‍යන්තර නීති සංගමයේ සාමාජික (1994 වර්ෂයේ සිට)
  • ජාත්‍යන්තර සාගර ආයතනයේ භාරකාර මණ්ඩලයේ සාමාජික (හැලිෆැක්ස්, කැනඩාව/මෝල්ටාව)
  • ස්වීඩනයේ මල්මෝ හි පිහිටි ලෝක සමුද්‍රීය විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම, සාගර නීතිය පිළිබඳ සාමාන්‍ය පාඨමාලාව වසර කිහිපයක් මුළුල්ලේ මෙහෙයවීම
  • ආසියාව තුළ ජාත්‍යන්තර නීතිය සංවර්ධනය කිරීම පිළිබඳ පදනමේ සම නිර්මාතෘ
  • Asian Yearbook of International Law සඟරාවේ ආරම්භක සම කතෘ
  • Asian Yearbook of International Law, Asian Journal of International Law, Korean Journal of International and Comparative Law, Sri Lanka Journal of International Law යන සඟරාවල උපදේශන කමිටුවල සාමාජික

පින්ටෝ මහතාගේ වියෝව ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙන්ම, එතුමා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජිකයෙකු මෙන්ම සභාපතිවරයෙකු ලෙස සුවිශේෂී භූමිකාවක් විදහා දැක්වූ ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයට ද විශාල පාඩුවක් වේ.

පින්ටෝ මහතා සමාදානයේ සැතපේවා!!!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close