ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ලතින් ඇමරිකානු සහ කැරිබියානු නියෝජිතයන් සමඟ අන්තර්ක්‍රියා පවත්වයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ලතින් ඇමරිකානු සහ කැරිබියානු නියෝජිතයන් සමඟ අන්තර්ක්‍රියා පවත්වයි

නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන නිරතවීම්වල අංගයක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 ජූලි 19 වැනි දින, ලතින් ඇමරිකානු සහ කැරිබියානු දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සමඟ අන්තර්ක්‍රියා පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුම්වත් කළේ ය.

මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ගේ කණ්ඩායමට නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද හෝ නම් කරන ලද තානාපතිවරු හත් දෙනෙකු, එක් මහ කොමසාරිස්වරයෙකු සහ කාර්ය භාර නිලධාරීහු සිව් දෙනෙකු ඇතුළත් විය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා නවදිල්ලි නුවර දී සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, සමගාමීව අක්ත ගන්වන ලද දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ අදහස් හුවමාරු කරගත් සිව්වැනි අවස්ථාව මෙය විය. එතුමා මෙම අවස්ථාවට පෙර, එනම් 2022 ජුනි 21 වැනි දින යුරෝපීය දූත මණ්ඩල ප්‍රධානීන් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ අන්තර් ක්‍රියාකාරකම් පැවැත්වී ය.

ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, උරුගුවේ යන රටවල තානාපතිවරු, ජැමෙයිකාවේ මහ කොමසාරිස්වරයා සහ ඩොමිනිකානු ජනරජය, පේරු, සුරිනාම් සහ වෙනිසියුලාව යන රටවල කාර්ය භාර නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

ආරාධිත දූත මණ්ඩල ප්‍රධානීහු සාදරයෙන් පිළිගත් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමන් සතු උනන්දුව පළ කළේ ය.

එම වගකීම් ඉටුකිරීමේ දී තම ධුරය ඔස්සේ ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ද එතුමා ප්‍රතිඥා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා වන සැලසුම් පිළිබඳව ද එතුමා දූත මණ්ඩල ප්‍රධානීහු දැනුම්වත් කළේ ය. ඉන් අනතුරුව, දූත මණ්ඩල ප්‍රධානීහු මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර, එහිදී සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අන්තර් ක්‍රියාකාරී සැසිය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද සහභාගී විය. නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සමගාමීව අක්ත ගන්වන ලද විදේශ දූත මණ්ඩල 94 සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රය ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 ජූලි 21 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close