ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් මැතිතුමා සමඟ 2020 ජනවාරි 14 වැනි දින කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී කළ මාධ්‍ය ප්‍රකාශය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් මැතිතුමා සමඟ 2020 ජනවාරි 14 වැනි දින කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී කළ මාධ්‍ය ප්‍රකාශය

IMG_0248

 

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු සර්ජි ලැව්රොව් මැතිතුමනි,

විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි,

රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකවරුන් සහ ශ්‍රී ලංකා සහ රුසියානු මාධ්‍යවල සාමාජිකවරුනි,

 

මැතිතුමනි, ඔබතුමාව ශ්‍රී ලංකාවට වෙත පිළිගැනීමට ලැබීම ගෞරවයක් ලෙස සලකමි.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ ලබා ඇති දැවැන්ත ප්‍රගතිය හා සංවර්ධනය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවට අපි සුබ පතන්නෙමු. කෘෂිකාර්මික ඵලදායිතාවය සම්බන්ධයෙන් ලබා ඇති වැදගත් ජයග්‍රහණ විශේෂයෙන් ප්‍රශංසනීය වේ. ජනාධිපති පුටින් මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා - රුසියා ද්විපාර්ශ්වික සබඳතා නව ක්‍රියාශීලී අවධියකට අවතීර්ණ වී ඇත.

අප දෙරටම, 1840 දශකය දක්වා දිවෙන නොවෙනස් හා දීර්ඝ කාලීන මිත්‍රත්වයක් භුක්ති විඳිති. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය හා දේශපාලන සම්ප්‍රදායන් රුසියානු සාහිත්‍ය හා දේශපාලන ව්‍යාපාරවලින් පොහොසත් වී තිබේ. අප දෙරටම පොහොසත් ඉතිහාසයන්ට හා සංස්කෘතික සම්ප්‍රදායන්ට උරුමකම් කියයි. අප දෙරටේ සමාජයන් ද බහු සංස්කෘතික වේ.

1972 දී කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේ සිය රාජ්‍යතාන්ත්‍රික වෘත්තිය ආරම්භ කළ අවස්ථාවේ දී මගේ රට සමඟ සමීප ඇසුරක් ආරම්භ කළ, ශ්‍රී ලංකාවේ සම්භාවනීය හා අවංක මිතුරෙකු පිළිගැනීමට ලැබීම සුවිශේෂී සතුටක් මෙන්ම ගෞරවයක් ද වේ.

ලැව්රොව් මැතිතුමා සිය රාජ්‍යතාන්ත්‍රික ජීවිතය ශ්‍රී ලංකාවේ දී ආරම්භ කිරීම පමණක් නොව, එම සේවා කාලය අතරතුර දී සිංහල භාෂාව ද ප්‍රගුණ කිරීම, අපගේ අභිමානය දෙගුණ කරයි.

2009 සිට වසර දහයකට පසුව විදේශ අමාත්‍ය ලැව්රොව් මැතිතුමා නිරත වූ මෙම නිල ශ්‍රී ලංකා සංචාරය, අපගේ ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් පුනර්ජීවනය කිරීම සඳහා ඉවහල් වී තිබේ.

ඔබ දන්නා පරිදි, 2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ නිරත වූ පළමු නිල මට්ටමේ සංචාරය මෙය වේ.

පෙර පැවති සෝවියට් සංගමය ශ්‍රී ලංකාවේ ස්ථාවර සංවර්ධන හවුල්කරුවෙකු වූ අතර, අපේ රටේ පුරෝගාමී නිෂ්පාදන අංශය (වානේ හා ටයර් නිෂ්පාදනය සහ පිටි ඇඹරීම) සඳහා වටිනා තාක්ෂණික සහාය ලබා දුන්නේය. මුල් කාලීන පොදු නිවාස (නාරාහේන්පිට) සහ වාරිමාර්ග ව්‍යාපෘති (මහවැලි සහ උඩවලවේ කොටස්) සඳහා ද පෙර පැවති සෝවියට් සංගමය විසින් අරමුදල් සපයන ලදී.

පසුගිය දශක තුන තුළ දී අප අපේ රටවල පැවති කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව ද සටන් කර තිබේ. බහුපාර්ශ්වික වේදිකාවල දී අභියෝග රැසකට මුහුණ දෙන අපි, එකිනෙක රටවලට අඛණ්ඩව සහයෝගය දක්වන්නෙමු. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා නිසැකවම සහයෝගය දැක්වීම සම්බන්ධයෙන්, රුසියානු සමූහාණ්ඩුවේ රජයට ශ්‍රී ලංකාවේ හෘදයංගම අගය කිරීම පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. එබැවින්, අවබෝධය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ ප්‍රබල හැඟීම ශ්‍රී ලංකා - රුසියා ද්විපාර්ශ්වික කටයුතුවලට පාදක වේ.

මාගේ දේශපාලන මතවාදය පෙර පැවති සෝවියට් සංගමයේ දේශපාලන ව්‍යාපාර සහ සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්ප මගින් පෝෂණය කර ඇති බැවින්, මට රුසියානු සමූහාණ්ඩුව සහ පෙර පැවති සෝවියට් සංගමය සමඟ විශේෂ සම්බන්ධතාවයක් ඇත.

අප අද විශිෂ්ට රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී අපගේ ද්විපාර්ශ්වික සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීම හා ප්‍රතිඵල මත පදනම් වූ,අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් බවට පත් කිරීම සඳහා වූ අපගේ කැපවීම අලුත් කරගන්නා ලදී. අපගේ සාකච්ඡාවල දී, දේශපාලන සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ රුසියා-ශ්‍රී ලංකා වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව තුළ ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

කෘෂිකර්මාන්තය සහ ආහාර පිරිමැස්ම, ධීවර කටයුතු, ජල කළමනාකරණය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනය, වෙළඳ හා ආයෝජන කටයුතු, සංචාරක කටයුතු, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළුව ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය, විද්‍යාව සහ තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ තෙල් ගවේෂණය යනාදිය මෙම එකඟ වූ සහයෝගීතා ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2017 දී රුසියාවේ නිරත වූ සංචාරයේ දී පිහිටුවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ඉලක්කය සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සහ ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව සහ රුසියාව උනන්දු වෙයි. 2018 වසරේ දී අප දෙරට අතර මුළු ද්විපාර්ශ්වික වෙළඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 388.98 ක් විය. රුසියාව ශ්‍රී ලංකාවේ 15 වැනි විශාලතම අපනයන ස්ථානය වන අතර, 24 වැනි විශාලතම ආනයන උපදවන රට ද වේ.

තාක්‍ෂණය මත පදනම් වූ ආර්ථික දියුණුව කෙරෙහි අවධානය යොමු කරමින් සමෘද්ධිමත් හා සාධාරණ ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වූජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම පිළිබඳව මම විදේශ අමාත්‍ය ලැව්රොව්ට විස්තර කළෙමි. මෙම දැක්ම, අපනයන හා නිෂ්පාදනවල අගය එකතු කිරීම වැඩි කිරීම සඳහා නව තාක්ෂණයන් උපයෝගී කර ගැනීම, පුහුණු ශ්‍රමය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, පුද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ පුද්ගලික අංශයේ හවුල් ව්‍යාපාර සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට ආරාධනා කිරීම තුළින් ශ්‍රී ලංකාවේ වියහැකි දැවැන්ත වර්ධන අවස්ථාවලට ඉඩකඩ ලබා දීමටප්‍රයත්න දරයි. රබර් නිෂ්පාදන, පොල් මත පදනම් වූ භාණ්ඩ, ශාකසාර බීම, කුළුබඩු, නැවුම් හෝ ශීතකළ මසුන්, මැණික් හා ස්වර්ණාභරණ සහ පිඟන් භාණ්ඩ පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ ව්‍යාපාරික ආයතන අතර එවැනි ව්‍යාපාර ප්‍රවර්ධනය කරනු ලැබේ.

ඉහළ යමින් පවතින රුසියානු සංචාරකයින්ගේ ශ්‍රී ලංකාවට පැමිණීමපිළිබඳව අප සනිටුහන් කොට ඇති අතර, එය සාදරයෙන් පිලිගන්නෙමු. 2018 දී 64,497 ක් ව පැවති රුසියානු සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව 2019 වසරරේ දී 86,547 දෙනෙකු මෙහි පැමිණ තිබේ. එයරොෆ්ලොට් ගුවන් සමාගම විසින් ආරම්භ කර ඇති සතියකට ගුවන් ගමන් තුනක සෘජු ගුවන් සම්බන්ධතාවය මගින් දෙදිසාවටම සිදුවන සංචාරක කර්මාන්තය සැලකිය යුතු අන්දමින්ජනනය කරයි. ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රුසියානු ආයෝජන ඉහළ නැංවීම සඳහා පවතින හැකියාව පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු.

පරම්පරා ගණනක ශ්‍රී ලංකා සිසුන් හට වෛද්‍ය, ඉංජිනේරු සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබා දීම සඳහා පසුගිය දශක හය තුළ දී රුසියානු රජය විසින් ලබා දෙන ලද නොමසුරු සහය වෙනුවෙන් මම ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළෙමි. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ රැකියා යෝග්‍යතාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමේ කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීමට උනන්දු වන බව මම විදේශ අමාත්‍ය ලැව්රොව් මැතිතුමාට දැනුම් දුන්නෙමි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය හා තාක්ෂණික පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා උනන්දුවක් දක්වයි. එබැවින්, ශ්‍රී ලාංකික සිසුන්ට උසස් විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනය ලබාදීම සඳහා රුසියානු විශ්වවිද්‍යාල සහ කාර්මික පාසල්වල පවතින නව අධ්‍යාපන අවස්ථා පිළිබඳව ගවේෂණය කිරීමට අපි එකඟ වූයෙමු. ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව අපි සමාලෝචනය කළෙමු. 2018 සැප්තැම්බර් මාසයේ මොස්කව්හි දී අත්සන් තබන ලද ද්විපාර්ශ්වික හමුදාමය සහයෝගීතා ගිවිසුම යටතේ අපේ දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව ක්‍රියාකාරී හා ශක්තිමත් ලෙස පවතී.

ත‍්‍රස්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් දේශසීමා ඉක්මවමින් සිදුකරන සංවිධානාත්මක අපරාධවලින් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාවට එල්ල වන තර්ජන පිළිබඳව දෙපාර්ශ්වයම හඳුනා ගන්නා ලද අතර, හවුල් විසඳුම් හා විශිෂ්ඨ පරිචයන් හුවමාරු කර ගැනීම සඳහා අපගේ සහයෝගිතාව  අඛණ්ඩව පවත්වාගෙන යාමට එකඟ විය. අදාළ රටවල අදාළ බලධාරීන් අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සහ රුසියාව ත්‍රස්ත මර්දන සහයෝගීතාව තවදුරටත් පුළුල් කරනු ඇත.

ගෝලීය වෙළඳ හා වාණිජ කටයුතු සඳහා ඉන්දියන් සාගර කලාපයේ වැඩි වන වැදගත්කම පිළිබඳව අපි සාකච්ඡා කළ අතර, කලාපයේ අනාගත සංවර්ධනය හා සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

මෙම සන්දර්භය හමුවේ, ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වැනි කලාපීය සංවිධාන සමඟ අපගේ ක්‍රියාකාරී සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳව අපි අවධානය යොමු කළ අතර, වෙනස් වෙමින් පවතින සංකීර්ණ කලාපීය හා ගෝලීය පරිසරයක අභියෝගයන්ට මුහුණ දීම සඳහා, සහයෝගීතාව සහ වැඩිදියුණු කළ කලාපීය සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බවට එකඟ විය.

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අපගේ රටවල් දෙක අපගේ සහයෝගිතාව සහ සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.

රුසියාවේ ජනතාව වෙත අපගේ හොඳහිත හා උණුසුම් සුබ පැතුම් පිරිනැමීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මැතිතුමනි, අපගේ පොදු අභිලාෂයන් පිළිබඳව කටයුතු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ සහයෝගිතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට මම අපේක්ෂා කරමි.

ඔබට ස්තූතියි.

IMG_8541

IMG_8663

IMG_8930

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close