ශ්‍රී ලංකාවේ වර්ධන විභවය මුදා හැරීම සඳහා අත්‍යවශ්‍ය සමුද්‍රීය විෂයය අවබෝධ කර ගැනීම: කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ප්‍රධාන දේශනය පවත්වයි

ශ්‍රී ලංකාවේ වර්ධන විභවය මුදා හැරීම සඳහා අත්‍යවශ්‍ය සමුද්‍රීය විෂයය අවබෝධ කර ගැනීම: කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ප්‍රධාන දේශනය පවත්වයි

කලාපීය සහයෝගීතා අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා, 'සමුද්‍රිය විෂයය පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රවර්ධනය කිරීම: යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම' පිළිබඳ අන්තර්ජාල සමුළුවේ දී ප්‍රධාන දේශනය පවත්වමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය විෂයය ශ්‍රී ලංකාවේ වර්ධනය වීමේ හැකියාවන් මුදා හැරීම සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රමුඛතා ක්ෂේත්‍රයන් සපුරා ගැනීම සඳහා වැදගත් අංගයක් බව නැවත අවධාරණය කළේය.

සමුළුව අමතමින් අමාත්‍ය බාලසූරිය මැතිතුමා තවදුරටත් පැවසුවේ, ආර්ථික හා දේශපාලන සබඳතා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් වන බවයි.

හඳුන්වාදීමේ අදහස් දක්වමින්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සාගර සම්පත් උපයෝගී කර ගැනීම සඳහා උපකාරී වන නව ආර්ථික දැක්මක අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය. විදේශ ලේකම් කොළඹගේ මහතා, රටවල් අතර පවතින අසමානතාවයන් හා අසමමිතීන්, කලාපයේ සාමය හා ස්ථාවරත්වය සහ වඩාත් වැදගත් ලෙස, ඉන්දියන් සාගර කලාපය තුළ සමුද්‍රීය හා ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම පිණිස සමුද්‍රීය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන, නීති රීති මත පදනම් වූ සමුද්‍රීය පටිපාටියක් ද ඉල්ලා සිටියේය.

'සමුද්‍රීය විෂයය පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රවර්ධනය කිරීම: යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම' යන අන්තර්ජාල සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාව සඳහා යුරෝපීය සංගමයේ නියෝජිතවරුන්ගේ සහයෝගයෙන් යුතුව, ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKI) මඟින් පවත්වන ලදී. සාගර මත පදනම් වූ ආර්ථිකය, සාගර පරිසර පද්ධති සහ සාගර පාලනය ඇතුළත් වන සංකීර්ණ සමුද්‍ර භූ දර්ශනයේ තිරසාර බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු උපාය මාර්ග පිළිබඳව මෙම සමුළුව මඟින් ගවේෂණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය කරා යන ගමනේ දී,  එහි උපායමාර්ගික පිහිටීම පිළිබඳ වාසිය ලබා ගනිමින්, සමුද්‍රීය වෙළඳ හා සැපයුම් සේවා කේන්ද්‍රස්ථාන, සමුද්‍ර ජෛව විවිධත්වය සහ ජීවනෝපායන් යන ක්ෂේත්‍රවල පවතින අවස්ථාවන් සහ අභියෝග සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ප්‍රවීණ කථිකයින් මෙම සමුළුවට එක් වූහ.

ආරම්භක දේශනය පවත්වමින්, තානාපති ඩෙනිස් චයිබි මැතිතුමා ප්‍රකාශ කළේ, කලාපීය සහයෝගීතාව සහ ඒකාබද්ධතාවය පෝෂණය කරන රටවලට, එක් බලයක් සහ තවත් බලයක් අතර තෝරා ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා ඉහළ අවස්ථාවක් පවතින බවයි. සාගර සම්පත් උපයෝගී කර ගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා පූර්වාවශ්‍යතාවක් ලෙස, රීතිය මත පදනම් වූ සාගර පාලනයේ ඇති වැදගත්කම පිළිබඳව සඳහන් කරන ලදී. අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වන බැවින්, කලාපීය සහයෝගීතාවය ළඟා කර ගැනීම පහසු නොවන බව එතුමා අවධාරණය කළේය. සමුද්‍රීය වෙළඳාම සහ කලාපීය සහයෝගීතා වැඩසටහන් ඇතුළුව, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා සහාය වීම පිණිස, යුරෝපා සංගමය සිය විශේෂඥ දැනුම ලබා දීමට සූදානම් බවට එතුමා සහතික විය.

ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින්, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට වැදගත් හා දීර්ඝ කාලීන වෙළඳ හා සංවර්ධන හවුල්කරුවෙකු වන අතර, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා ද වන බව විදේශ අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියා, යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සේමසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. පසුගිය වසර පහ හය තුළ දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පැවති සබඳතාවය ක්‍රියාශීලී, ගතික හා ශක්තිමත් මෙන්ම, නිත්‍ය අන්තර් ක්‍රියාකාරිත්වයන් සහ දෙපාර්ශ්වයේම භෞමික යථාර්ථයන් පිළිබඳ වැඩි අවබෝධයකින් ද යුතු වූ බව ඇය තවදුරටත් පැවසුවාය.

සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් මහතා, සීමාසහිත එස්.සී.එම්. (පුද්) සමාගමේ නිර්මාතෘ සහ බර්න්හාර්ඩ් ෂුල්ට් ෂිප්මැනේජ්මන්ට් හි හිටපු සැපයුම් දාම කළමනාකරණ ආයතනික අධ්‍යක්ෂ ආචාර්ය රුවන්ති ද සිල්වා මහත්මිය සහ කොළඹ නාවික ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී/රොහාන් මාසකෝරාළ මහතාගෙන් සමන්විත වූ සමුද්‍රීය වෙළඳ හා සැපයුම් සේවාකේන්ද්‍රය පිළිබඳ පළමු කමිටුව මෙහෙයවන ලද්දේ සැපයුම් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාන්තාවෝ (WiLAT) සංවිධානයේ ගෝලීය සභාපතිනි ගයානි ද අල්විස් මහත්මිය විසිනි.

වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී හා ධීවර කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය සමුද්‍ර ජෛව විවිධත්වය හා ජීවනෝපායන් පිළිබඳ කමිටුව මෙහෙයවූවාය. මෙම කමිටුවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මජුල අමරත්න මහතා, යුරෝපා කොමිසමේ ජෛව විවිධත්ව ඒකකයේ පරිසර අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලයේ ප්‍රතිපත්ති නිලධාරී ජුවාන්-පැබ්ලෝ පර්ටියෙරා මහතා, බ්ලූ රිසෝස් ට්‍රස්ට්හි සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ඩැන්යෙල් ප්‍රනාන්දු මහතා සහ පාරිසරික පදනම ආයතනයේ සභාපති සහ ඩබ්ලිව්.ඩබ්ලිව්.එෆ්. හොංකොං හි තෙත්බිම් සහ වනජීවී අධ්‍යක්ෂ ආචාර්ය එරික් වික්‍රමනායක මහතා සහභාගී වූහ.

සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ තුන්වැනි මණ්ඩලය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් මෙහෙයවන ලදී. මෙම කමිටුවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල්/මෙහෙයුම් සහ ප්‍රධාන ජල විද්‍යාඥ සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජල විද්‍යාඥ රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා, යුරෝපා සංගම් නාවික හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කොරාඩෝ කැම්පානා මහතා, ඉන්දියන් සාගරයේ තීරණාත්මක සමුද්‍රීය මාර්ග (CRIMARIO) පිළිබඳ යුරෝපා සංගම් වැඩසටහනේකණ්ඩායම් නායක, විශ්‍රාමික කර්නල් මාටින් කොචි ඉන්ග්ලොට් මහතාසහ සහ විදේශ අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස සහ සාගර කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය ද සහභාගී විය.

අධ්‍යක්ෂ ජනරාල් දිසානායක මහත්මිය ඉහත කමිටු තුන සාරාංශගත කරමින් සමාප්ති දේශනය පැවැත්වූ අතර, ස්තූති කථාව කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය විසින් සිදු කරන ලදී.

මෙම අන්තර්ජාල සමුළුවට රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ සාමාජිකයින් සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 04 වැනි

....................................

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා පැවැත්වූ ප්‍රධාන දේශනය
සමුද්‍රීය විෂයය පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රවර්ධනය කිරීම: යුරෝපා සංගමය සමඟ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම
2020 දෙසැම්බර් 3 වැනි දි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිෂ් චයිබි මැතිතුමනි, විදේශ අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාණෙනි, විදේශ අමාත්‍යාංශයේ, අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අතිරේක ලේකම්වරුනි, ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික සුගන්ති කදිර්ගාමර් මැතිනියනි.

තානාපතිවරුනි, සම්භාවනීය අමුත්තනි, සහභාගීවන්නනි, නෝනාවරුනි, මහත්වරුනි.

ආයුබෝවන් - සුබ උදෑසනක්!

‘සමුද්‍රීය විෂයය කෙරෙහි ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රවර්ධනය කිරීම: යුරෝපා සංගමය සමඟ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම’ පිළිබඳ මෙම අන්තර්ජාල සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකමි.

අද ලොව පුරා සිටින සියලුම නායකයින්ගෙන් අපට අසන්නට ලැබෙන වඩාත් පොදු කියමන වන්නේ, ‘අප ජීවත් වන්නේ අවිනිශ්චිත කාලසීමාවක ය‘ යන්නයි. මෙම අවිනිශ්චිත වාතාවරණය, කෙටිකාලීනව කොවිඩ්-19 වසංගතය මෙන්ම දේශගුණික විපර්යාස වැනි දිගු කාලීන පැවැත්ම පිළිබඳ අවදානම් තත්ත්වයන් මඟින් ආර්ථික හා සමාජ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා මානව වර්ගයාගේ පවතින හැකියාවට සැලකිය යුතු මාර්ග බාධක ඇති කරන තර්ජන මත පදනම් වී ඇත. නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ගැටලුව වන්නේ, මෙම අර්බුදයන් අපගේ අදාළ සමාජයන් සඳහා ඉහළ සමානාත්මතාවයක් සහ සමෘද්ධියක් අත්කර ගැනීම සඳහා පවතින අවස්ථාවන් බවට පත් කරගන්නේ කෙසේ ද යන්නයි. සමීපයට පැමිණ ඇති දැවැන්ත කර්තව්‍යය සැලකිල්ලට ගත් කළ, එක් ජාතියකට, ඔවුන් සතුව කොතරම් බලයක් තිබුණත්, අනෙක් හවුල්කරුවන්ගේ සහයෝගය නොමැතිව ඒකපාර්ශ්විකව ක්‍රියාමාර්ගයක් සැකසීමේ හැකියාවක් නොමැති බව නිසැක ය.

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක ගෝලීය හවුල්කරුවෙකු වන යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව ඉහළ නැංවීම ශ්‍රී ලංකා රජයට වැදගත් ප්‍රමුඛතාවයක් වන්නේ එබැවිනි. මෙම සම්බන්ධතාවයේ මෙම ශක්තිමත් බව වෙළඳ හා ආර්ථික විද්‍යාව, සංස්කෘතික හා දේශපාලන අවකාශය යන අන්තර් ක්‍රියාකාරිත්වයේ විවිධ මංපෙත් කරා විහිදේ. 2019 වසරේ දී, ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය වූ අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් 30% ක් විය. ශ්‍රී ලංකාව සිය අපනයන ගොන්න විවිධාංගීකරණය කිරීමට සහ නව වෙළඳපොළවල් සෙවීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින හෙයින්, අපගේ යුරෝපීය හවුල්කරුවන් සමඟ අපගේ වෙළඳ සම්බන්ධතාවය පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීම පිළිබඳව අපි ස්ථිරව සිටිමු.

මගේ ප්‍රධාන දේශනයේ දී, මෙම සමුළුවේ සමස්ත තේමාවට අදාළ අංශ තුනක් පිළිබඳව කථා කිරීමට මම කැමැත්තෙමි. සමුද්‍රීය වෙළඳාමේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම, දේශගුණික විපර්යාස සඳහා සහයෝගීතාවය ඉහළ නැංවීම සහ අවසාන වශයෙන් සමුද්‍රීය අපරාධ පිළිබඳ කරුණු කිහිපයක් ද සඳහන් කිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය දූරදර්ශී ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, දරිද්‍රතාවය අවම කිරීම, ජනතාවයේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම, සැමට අධ්‍යාපනය සහ පිරිසිදු පරිසරයක්  ලෙස එතුමාගේ පරිපාලනය සඳහා ප්‍රධාන ප්‍රමුඛතා අංශ හතරක් ගෙනහැර දැක්වීය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයට සහ මානව ප්‍රාග්ධනයට වර්ධන වීම සඳහා පවතින හැකියාව මුදා හැරීම සඳහා සමුද්‍රීය විෂයය ඉතා වැදගත් අංගයක් බව වටහා ගැනීම මත රඳා පවතී.

සමුද්‍රීය වෙළඳාම

වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ (UNCTAD) මෑත කාලීන වාර්තාවකට අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, 2020 දී ගෝලීය සමුද්‍රීය වෙළඳාමෙහි 4.1% ක පහත වැටීමක් සිදුවනු ඇතැයි සඳහන් වේ. එවැනි බිඳ වැටීම්වලින් ඉන්දියානු සාගරයේ ප්‍රධාන නාවික කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව ද බේරී නොමැත. අගුලු දැමීම, ගෝලීය සැපයුම් දාමයට ඇති බාධා, නාවිකයින්ගේ සහ වරාය සේවකයින්ගේ සෞඛ්‍යය යන සියල්ල මඟින් අපගේ වර්තමාන ආර්ථික ගැටලු උග්‍ර කර තිබේ. ගෝලීය සමුද්‍රීය වෙළඳාම යථා තත්ත්වයට පත්වීම සඳහා අපට යම් කාලයක් ගතවනු ඇති අතර, ස්වයංක්‍රීයකරණය ඉහළ නැංවීම, ඩිජිටල්කරණය සහ ‘කාර්යය නිම කිරීමට ගතවන කාලය‘ වැනි ප්‍රධාන වරාය කාර්යය සාධන දර්ශක වැඩි දියුණු කිරීම වැනි නව්‍ය විසඳුම් තුළින්, වෙළඳ කේන්ද්‍රස්ථානයක් ලෙස අපගේ තරඟකාරිත්වය වැඩි දියුණු කළ හැකි ක්‍රම පිළිබඳව සොයා බැලීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් වනු ඇත

දේශගුණික විපර්යාසඉන්දියානු සාගර කලාපය තුළ පවතින තර්ජන වැඩි කරවන්නක් ලෙස

පරිසරය සම්බන්ධයෙන් ගත් කල, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම්වලින් විශේෂයෙන් ඉන්දියානු සාගරයේ වෙරළාසන්න රාජ්‍යයන් මුහුණ දෙන පැවැත්ම පිළිබඳ තර්ජන දිගින් දිගටම උත්සන්න වේ. දේශගුණික බලපෑම අවම කිරීමේ ඵලදායී උපාය මාර්ග සකස් කිරීම සඳහා සියලු ඉන්දියානු සාගර කලාපීය රටවල පමණක් නොව, කලාපයෙන් පිටත අතිරේක ක්‍රියාකාරීන්ගේ ද සහයෝගය අවශ්‍ය වේ. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) මඟින් 2018 දී පළ කළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ විශේෂ වාර්තාවකින් අනතුරු ඇඟවූයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 1.5 ක් තුළ තබා ගැනීමට අපොහොසත් වුවහොත් වේගවත්ඈතට විහිදෙන හා පෙර නොවූ විරූ අන්දමේ වෙනස්කම් සමාජයේ සියලු අංශවල සිදුවනු ඇති බවටයි. රාජ්‍යයන්ට දැරීමට සිදුවන භාරයේ සම්පූර්ණ පරාසය ගත් කල, දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන සංක්‍රමණ හේතුවෙන්, ආහාර නිෂ්පාදනය අඩුවීම, යටිතල පහසුකම් නැතිවීම හේතුවෙන් සිදුවන ආර්ථික වර්ධනය කෙරෙහි මෙන්ම, ජාතික හා මානව සුරක්‍ෂිතතාව කෙරෙහි ද පෙර නොවූ විරූ බලපෑමක් ඇති කරනු ඇත.

දේශගුණික විපර්යාස, තර්ජන වැඩි කරවන්නක් ලෙස සලකන විට, නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම, මුහුදු කොල්ලකෑම් වැනි නාවික ආරක්ෂාවට එල්ල වන තවත් බොහෝ අභියෝග මෙන්ම, මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) සැලසීම ද වඩාත් තීරණාත්මක වනු ඇති අතර සම්පත්, දැනුම හුවමාරු කර ගැනීම සහ විශේෂඥතාව සඳහා වැඩි සහයෝගීතාවයක් අවශ්‍ය වේ. තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය (SCP) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති ස්විච්ඒෂියා වැඩසටහන තුළින් පාරිසරික ප්‍රමිතීන් නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සැපයීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අපි ස්තූතිවන්ත වෙමු. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැනි ප්‍රධාන ආර්ථික අංශ සමහරක් මඟින් අපගේ පරිසරයට ඇති කරන බලපෑම අවම කරමින්, වඩා යහපත් පාරිසරික ප්‍රමිතීන් සමඟ අඛණ්ඩව විකාශනය වීම සහතික කිරීම සඳහා එවැනි වැඩසටහන් වැදගත් වේ.

සමුද්‍රීය අපරාධ

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ තුන් වැනි ගැටළුව සම්බන්ධයෙන්, මම ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන එක් අංශයක් වනුයේ සමුද්‍රීය අපරාධවලට එරෙහිව සිදුකෙරෙන අඛණ්ඩ අරගලයයි. එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ බෙදුම්වාදී අරගලයට එරෙහිව ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති අරගලය තුළ, එල්ටීටීඊයේ නාවික ත්‍රස්ත ඒකක, නීති විරෝධී ආයුධ නැව්ගත කිරීම් සහ මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව සිය නාවික සීමාවන් පාලනය කිරීමේ අන්තරාදායක අභියෝගය පිළිබඳව අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මූල්‍යමය වශයෙන් සැලකිය යුතු පිරිවැයක් මෙන්ම සැලකිය යුතු මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වුව ද, ශ්‍රී ලංකාවේ නාවික හමුදාවන්ගේ උපායමාර්ගික හා සංවර්ධන කටයුතු හේතුවෙන්, මෙම අභියෝගයන්ට මුහුණ දීමට අපට හැකි විය. ඉන්දියානු සාගර කලාපයේ සාමූහික ආරක්ෂාව සහතික කිරීම සඳහා නාවික ධාරිතාවය වර්ධනය කිරීම පිණිස රාජ්‍යයන් අතර සහයෝගිතාවය මෙන්ම තොරතුරු හුවමාරුව වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය ද ඉහළ නැංවිය යුතු බව මෙම අත්දැකීම් අපට පෙන්වා දෙයි.

ඉන්දියානු සාගරයේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ වර්ධනය, ප්‍රචණ්ඩ, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නැඟී සිටීම සමඟ සමීපව සම්බන්ධ වෙයි. ඉහළ යමින් පවතින, ඉන්දියානු සාගරයේ විවිධ නාවික හමුදා විසින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ, සාපරාධී හා ත්‍රස්තවාදී ජාලයන් තම නිෂ්පාදන යුරෝපයට සහ උතුරු ඇමරිකාවට ළඟා විය හැකි මාර්ගයක් ලෙස ඉන්දියානු සාගරය ජාවාරම් ජාලයක් ලෙස අඛණ්ඩව ඉලක්ක කර ඇති බවයි. ලැබී ඇති සාක්ෂිවලට අනුව එවැනි ජාලවලින් ලැබෙන ලාභවලින් බොහොමයක් ඇෆ්ගනිස්ථානයේ සිට සෝමාලියාව දක්වා ත්‍රස්ත ජාලවලට අරමුදල් සපයන බව ඔප්පු වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය වෙළඳාම ද තවදුරටත් තනි තර්ජනයක් ලෙස වෙන්කොට දැක්විය නොහැකිය. තම සමාජයන් මත ඇති වන සමාජීය කරදරවලට එරෙහිව සටන් කිරීම සඳහා වඩාත් ඵලදායී මැදිහත්වීමේ උපාය මාර්ග යොදා ගැනීමට ඔවුන් උත්සාහ කරන බැවින්, මත්ද්‍රව්‍ය වෙළඳාම මඟින් විශේෂයෙන් ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ඇති කරන බලපෑම නිසා, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට අමතර මූල්‍යමය බරක් පැටවෙනු ඇත. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සහාය ඇතිව ශ්‍රී ලංකාව මෙම ක්‍රියාකාරකම් සීමා කිරීම හා සම්බන්ධ අපගේ යුතුකම් හා වගකීම් වේගවත් කර තිබේ.

සමාප්තිය

සමාප්ත කිරීමට පෙර, මම අද පැවැත්වෙන සමුළුවට සුබ පතන අතර, මෙම සාකච්ඡා තුළින් කථිකයින්ගේ සහ සහභාගිවන්නන්ගේ තීක්ෂණ නිරීක්ෂණ පමණක් නොව, වැඩිදුර අධ්‍යයනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා උරදෙන සමහර ක්‍රියාකාරී අයිතමයන් ද ලැබෙනු ඇත. අවසාන වශයෙන්, අප මුහුණ දෙන අභියෝගවල අතිමහත් බව සැලකිල්ලට ගත් කල, අපට විකල්ප දෙකක් ඉතිරිව ඇති බව, එනම්; අප අපගේ තනි කුටි කරා පසු බැස, හොඳම දේ සිදුවෙතැයි අපේක්ෂාවෙන් සිටීම හෝ මේ මොහොත සැමට සාමය හා සමෘද්ධිය ගෙන දෙන වැඩි සහයෝගීතාවයක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාලම් තනාගැනීමේ අවස්ථාවක් ලෙස සැලකීම වන බව පවසමින් මගේ ප්‍රකාශය අවසන් කිරීමට කැමැත්තෙමි.

ඔබ සැමට ස්තූතියි!

The full video can be viewed at   : https://youtu.be/wOe3CZwlaY4

Print Friendly, PDF & Email
Please follow and like us:

Close