ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධනය කීරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විතයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධනය කීරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විතයි

කොවිඩ්-19 මෙරටින් තුරන් කිරීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග 10 කින් සමන්විත බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් නොබැඳි ව්‍යාපාරයේ මහ මණ්ඩලයේ විශේෂ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. පසුගිය 03 හා 04 යන දෙදින පැවැති මෙම විශේෂ සැසියට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 "නොබැඳි ව්‍යාපාරය සහ එහි සභාපතිත්වය දරන අසර්බයිජානය විසින් යෝජනා කරන ලද පරිදි කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් මෙම විශේෂ සැසිය කැඳවීම වෙනුවෙන් මහා මණ්ඩලයේ සභාපති වොල්කන් බොස්කීර් මැතිතුමාට මම ස්තුතිවන්ත වෙමි. මානව වර්ගයාට මුහුණ දීමට සිදුව ඇති විශාලතම ගෝලීය සෞඛ්‍ය අර්බුදය වන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ආදරණීයයන් අහිමි වූ සියලුම දෙනාට මාගේ හෘදයංගම ශෝකය පළකරන අතර, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින පෙරටුගාමී සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සේවකයින්ට ඔවුන්ගේ කැපවීම සහ වගකීම වෙනුවෙන් කෘතඥතාව පළ කරමි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකාව මෙම වසංගතය සම්ප්‍රේෂණය වීම ශුන්‍ය කිරීම ඉලක්ක කර ගනිමින්, විශ්වීය සෞඛ්‍ය පූර්වෝපායන් දැඩි ලෙස පිළිපැදීමෙන් සහ සමස්ත රාජ්‍ය ප්‍රවේශයක් තුළින් කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය කළමනාකරණය කරගෙන ඇත.

මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මෙහෙයුම් සිදු කිරීම පිණිස, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ‘ආරක්ෂිතව සිටින්න’ නම් වූ ඩිජිටල් වේදිකාවක්, රෝගීන් හා ස්පර්ෂ වූවන් සොයා ගැනීම පිණිස මහජන සබඳතා සඳහා පහසුකම් සපයයි. කොවිඩ්-19 වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම ක්‍රියාමාර්ග ඵලදායී ලෙස සම්බන්ධීකරණය කරයි. ශ්‍රී ලංකාව සිය ජනතාවට ලබා දෙන නිදහස් විශ්ව සෞඛ්‍ය සේවාව මඟින් ද, වෛරසයේ ව්‍යාප්තිය අඩු වී තිබේ.

අපේ රටේ කොවිඩ්-19 වැළැක්වීමේ යාන්ත්‍රණය ප්‍රධාන අංග දහයකින් සමන්විතයි. ඒවායින් පළමුවැන්න ජාතික මට්ටමේ සම්බන්ධීකරණය, දෙවැන්න සැලසුම් කිරීම සහ සමාලෝචනය; අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අවම කිරීමේ ක්‍රියාවලියේ දී සමාජයේ ක්‍රියාකාරී සහභාගීත්වය; තෙවැන්න ලෙස අධීක්ෂණය, වේගවත් ප්‍රතිචාර දැක්වීම සහ හඳුනා ගැනීම, සිව්වැන්න ලෙස රටේ පිවිසුම් තොටුපොළවල් හා අභ්‍යන්තර ප්‍රවාහන මාර්ග අධීක්ෂණය කිරීම, පස්වැන්න ලෙස රසායනාගාර පද්ධතිය ශක්තිමත් කිරීම, හයවැන්න ලෙස වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ වැළැක්වීම, හත්වැන්න ලෙස රෝගීන් මනා ලෙස හැසිරවීම, අටවැන්න ලෙස සියලුම සෞඛ්‍ය සේවා සඳහා පහසුකම් කඩිනම් කිරීම, නවවැන්න ලෙස අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ දහවැන්න ලෙස සමාජ සුරක්‍ෂිතතාවය සහතික කිරීම හා ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම.

වසංගතය හේතුවෙන් ඇති වූ සමාජ-ආර්ථික බලපෑම පිළිබඳව කටයුතු කිරීමේ දී, රජය විසින් පවුල් මිලියන හයකට අධික සංඛ්‍යාවක් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මූල්‍ය සහන සහ වියළි සලාක ලබා දී, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලක් ද පිහිටුවා ඇති අතර, දේශීය ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සපයයි.

සාර්ථක එන්නත් කිරීමේ වැඩසටහන් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට සතුව පවතී. කොවිඩ්-19 එන්නත් කිරීමේ වැඩසටහන හඳුන්වා දීමේ දී මහජන විශ්වාසය පවත්වා ගැනීම පිළිබඳව රජය සහතික කරයි. කොවිඩ්-19 එන්නත පිළිබඳ COVAX පහසුකම සඳහා දැනටමත් ශ්‍රී ලංකාව ඇතුළත් කොට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සම්බන්ධ වී වඩාත් ආරක්ෂිත එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම මට්ටමේ විශේෂඥයින්ගෙන් සමන්විත සම්බන්ධීකරණ කමිටුවක් පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ්, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමඟ කළ සාකච්ඡාවලින් පසුව, එන්නත් සඳහා ශීත ගබඩා දාම නඩත්තු කිරීම පිණිස උපකරණ වැඩිදියුණු කිරීම හා මිලදී ගැනීම සඳහා අරමුදල් ලබා ගැනීමට රජයට හැකි වී තිබේ.

මෙම වෛරසය සියලු දේශසීමාවන් ඉක්මවා යන හෙයින්, එක්සත් ජාතීන්ගේ කාර්යභාරයේ වැදගත්කම අද දින කේන්ද්‍රීය ලෙස දැනේ. කොවිඩ්-19 එන්නත ගෝලීය පොදු මහජන යහපතක් බවට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙතින් කළ ඉල්ලීම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරයි. මේ සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු ව්‍යතිරේකයකින් තොරව සියලු සම්පත් සහ හවුල්කරුවන් යෙදවිය යුතුය.

ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදු කරනු ලබන පුළුල් කාර්යභාරය සඳහා සිය සහයෝගය යළි අවධාරණය කරයි. බොහෝ රටවල් නැවත නැවතත් වෛරසයේ රැල්ලට මුහුණ දී සිටින හෙයින්, කොවිඩ්-19 මෙවලම් ත්වරකය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ප්‍රවේශය සඳහා සියලු පාර්ශවකරුවන් විසින් පහසුකම් සැපයිය යුතුය.

මෙම අර්බුදකාරී කාලසීමාවේ දී, සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර මූල්‍යකරණය සහ ණය සඳහා තාවකාලික අත්හිටුවීම අවශ්‍ය වන බව ශ්‍රී ලංකාව මහත් සැලකිල්ලෙන් සඳහන් කරයි. මධ්‍යම ආදායම් ලබන රටවල් (MICs) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරන අතර, ජී20 ණය සේවා අත්හිටුවීමේ කටයුත්ත (DSSI) සඳහා සුදුසුකම් පුළුල් කිරීම සහ මධ්‍යම ආදායම් ලබන රටවල් ඊට ඇතුළත් කිරීම සඳහා වූ මහලේකම්වරයාගේ ඉල්ලීම හා එක් වෙයි.

අවසාන වශයෙන් අප මෙම වසංගතය පවත්නා කාල පරිච්ඡේදය හරහා ගමන් කිරීමෙන් අනතුරුව පශ්චාත් වසංගත යුගයක දී, තිරසාර සංවර්ධන අරමුණු සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට අනුකූල සම්බන්ධීකරණය වූ සාමූහික ක්‍රියාමාර්ග තුළින්, සියල්ල ඇතුළත් හා වඩාත් ඔරොත්තු දෙන සුළු, වඩාත් සාධාරණ හා හරිත වර්ණ පශ්චාත් කොවිඩ් ලෝකයක් ගොඩනඟා ගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ආයුබෝවන්! ස්තුතියි.

 

The full video can be viewed at   :  https://youtu.be/AhMsGSJyYTk

Print Friendly, PDF & Email
Please follow and like us:

Close