ජනාධිපති ගෝඨාභය සමඟ සමීපව කටයුතු කරන්න සුදානම් බව කෙන්යා ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය සමඟ සමීපව කටයුතු කරන්න සුදානම් බව කෙන්යා ජනපති කියයි

 

ශ්‍රී ලංකාව  හා කෙන්යාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව කෙන්යාවේ ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා  පැවසීය. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  වේලුපිල්ලයි කනනාතන් මහතා, සිය අක්ත පත්‍රය කෙන්යා ජනරජයේ  ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මැතිතුමා වෙත 2020 දෙසැම්බර් 02 වැනි දින නයිරෝබි හි රාජ්‍ය මන්දිරයේ දී පිළිගැන් වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙළේය.

අක්ත පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව, ජනාධිපතිවරයා අභිනව මහ කොමසාරිස්වරයා හට පෞද්ගලික හමුවක් සඳහා ආරාධනය කළ අතර, එහි ආරම්භයේදීම මහ කොමසාරිස් කනනාතන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත්, ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාවගේත් ආශිංසන සහ සුබ පැතුම් ජනාධිපති කෙන්යාටා මැතිතුමා වෙත පිරිනැමීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ භුක්ති විඳි මිත්‍රශීලී සමීප සබඳතා පිළිබඳව කෙන්යාටා මහතා සිහිපත් කෙළේය.

නැගෙනහිර හා දක්ෂිණ අප්‍රිකාව සඳහා පොදු වෙළඳපොළ (COMESA) හි ක්‍රියාකාරී සාමාජික රටක් වන කෙන්යාව ඇතුළුව, අප්‍රිකාව සමඟ පවත්නා බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශාල වැදගත්කමක් ලබා දෙන බව මහ කොමසාරිස්වරයා පැහැදිලි කළේය. අප්‍රිකාව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රවේශය හා අවධානය අගය කළ කෙන්යානු ජනාධිපතිවරයා, අදාළ ජනතාවන්ගේ සෞභාග්‍යය වැඩිදියුණු කිරීම සඳහා අප්‍රිකාවේ හා ආසියාවේ කලාපීය ආර්ථික අපේක්ෂාවන් එකිනෙක හා අනුපූරක විය යුතු බවත්, අප්‍රිකාව සමඟ පවත්නා සබඳතා නව මානයක් දක්වා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව යත්න දැරිය යුතුය යන්න තම මතය බවත් පැවසීය.

ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව නිරන්තරයෙන් ම සමාන අදහස් දැරූ බවත්, බහුපාර්ශ්වීය වේදිකාවල දී එකිනෙක රටවලට සහයෝගය දැක්වූ බවත් පැවසූ ජනාධිපති කෙන්යාටා මැතිතුමා, දෙරට අතර සහයෝගීතාව හා හොඳ හිත ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු යැයි යෝජනා කළේය.

මෙම හමුව අතරතුර දී, කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර පැවති 50 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව සිහිපත් කළ ඔවුහු, ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළහ. එහි සත්‍ය විභවය වෙත ළඟාවීම සඳහා, විශේෂයෙන් වෙළඳ, ආයෝජන හා වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් ඇතුළු බොහෝ නව සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා ද්විපාර්ශ්වික සබඳතාවල පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කර ගත්හ. මේ සම්බන්ධයෙන්, කෙන්යාව සඳහා මහ කොමසාරිස්වරයා ලෙස දෙරට අතර පවත්නා සබඳතා වඩාත් පුළුල් හා හෘදයංගම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තමන්ට වරම් ලබා දී ඇති බව මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා පවසූ අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභය පිණිස එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය සිය රජය විසින් ලබා දෙනු ඇති බව ජනාධිපති කෙන්යාටා මැතිතුමා ඊට පිළිතුරු වශයෙන් පැවසීය. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කලාපයේ තවත් අප්‍රිකානු රටවල් 8 ක් සඳහා සමගාමීව අක්ත ගන්වා තිබේ.

මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා මීට පෙර උගන්ඩාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා ලෙස කටයුතු කළ අතර, එතුමා වරෙක උගන්ඩාවේ පළමු මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර ඇත. අප්‍රිකානු කලාපය පිළිබඳව මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා සතු පුළුල් දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගනිමින්, 2020 ජනවාරි මාසයේ දී එතුමා අප්‍රිකාව සඳහා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ලෙස ද පත් කරන ලදී. මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා වසර 36 කට අධික කාලයක් තිස්සේ අප්‍රිකාවේ සුප්‍රකට ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කර ඇත. එතුමා ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2020 දෙසැම්බර් 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close