විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවේ දී නිරත වූ  සංක්‍රාන්ති සංචාරය

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවේ දී නිරත වූ  සංක්‍රාන්ති සංචාරය

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අද දින, එනම් 2022 දෙසැම්බර් 7 වැනි දින සිංගප්පූරුව තුළ කෙටි සංක්‍රාන්ති සංචාරයක නිරත විය. එහිදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය සිම් ඈන් මැතිනිය හමු වූ රාජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වී ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම (SLSFTA) කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි පියවරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතු අභිප්‍රාය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ සන්නිවේදන හා තොරතුරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ජනිල් පුතුචේරි මැතිතුමා හමු වූ අතර, එහිදී එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවතින අමතර රැකියා අවස්ථා සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්  දෙපාර්ශ්වය අතර පවතින සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය දේපළ සමාගම් පිළිබඳ අමාත්‍යංශය සහ සිංගප්පූරු හෙද මණ්ඩලය නියෝජනය කළ දූත පිරිසක් මෑතකදී මෙරට නිරත වූ සංචාරය පිළිබඳව  සහ දිගුකාලීන බඳවාගැනීමේ අවස්ථා හොඳින් අවබෝධ කරගැනීම සඳහා පැවැත්වෙන ගවේෂණ චාරිකාවකින් අනතුරුව හෙදියන් සඳහා නියමු බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් පැවැත්වීම පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.

අමාත්‍යවරයා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සමඟ මෙම සාකච්ඡා සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

 

2022 දෙසැම්බර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close