මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඇමතීම සඳහා ඇරයුම් ලබයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඇමතීම සඳහා ඇරයුම් ලබයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 දෙසැම්බර් 08 වැනි දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ සභාපති (EAC-PM) ආචාර්ය බිබේක් ඩෙබ්‍රෝයි මහතා නව දිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමුවී සිය අදහස් හුවමාරු කර ගත්තේය.

අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක කවුන්සිලය (EAC-PM) යනු ඉන්දීය රජයට සහ විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආර්ථිකය සහ ඊට අදාළ ගැටළු පිළිබඳ උපදෙස් ලබා දීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන ආයතනයකි.

මෙම සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ EAC-PM හි සභාපතිවරයා, මෙම කවුන්සිලයේ නිලවරම සහ කාර්යයන් පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ආර්ථික ඒකාබද්ධතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, එම ක්‍රියාවලිය සඳහා කවුන්සිලයට  සහය විය හැකි ආකාරය පිළිබඳව විමසී ය.

ඊට ප්‍රතිචාර දැක්වූ සභාපති ඩෙබ්‍රෝයි මහතා, අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක, ආර්ථික ඒකාග්‍රතාව සහ සහයෝගීතාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් මෙම කවුන්සිලය අමතන ලෙස මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාට ඇරයුම් කළේ ය.  මහ කොමසාරිස්වරයා ද එම ඇරයුම පිළිගත්තේ ය.

පශ්චාද් කොවිඩ් වසංගත තත්ත්වය තුළ සැපයුම් දාමය සතු ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම වෙළඳාම සහ ආයෝජනය යන කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ආචාර්ය බිබේක් ඩෙබ්‍රෝයි මහතා ජාත්‍යන්තර කීර්තියට පාත්‍ර වූ ආර්ථික විද්‍යාඥයෙකි. තවද එතුමා  රජයේ ඉහළ තනතුරු රැසක් ද දරා ඇත. එතුමා භගවත් ගීතාව ඇතුළු පැරණි ඉන්දියානු සම්භාව්‍ය කෘති ගණනාවක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ දක්ෂ ලේඛකයෙකි. එතුමා 2005-2008 තෙක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සත්කාරකත්වය දරන ලද ස්වාධීන ජාත්‍යන්තර සංවිධානයක් වන ‘දිළිඳු පුද්ගලයන්ගේ නෛතික සවිබල ගැන්වීම් පිළිබඳ ඉහළ පෙළේ කොමිෂන් සභාව’ නමැති සංවිධානයේ සේවය කළේ ය. මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ද එහි සාමාජිකයකු වශයෙන් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

 

2022 දෙසැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close