වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 වර්ෂයේ නත්තල් උත්සවය සමරයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 වර්ෂයේ නත්තල් උත්සවය සමරයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 දෙසැම්බර් 17 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරූ අතර එය සූම් (zoom) සහ ෆේස්බුක් (Facebook) යන ඩිජිටල් අවකාශ ඔස්සේ සජීවීව විකාශනය කරන ලදී.

පුද්ගලික සහ අතථ්‍ය අයුරින් මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට  සිය සුබ පැතුම් පිරිනැමූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, 2022 වසර තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සාක්ෂාත් කරගත් ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළ අතර, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වී මෙරටට ලබා දුන් කාරුණික සහය පිළිබඳව  සිහිපත් කළේ ය. නත්තල යනු සහෝදරත්වයේ බැඳීම් නිර්මාණය කරන කාල සීමාවක් බවත් ශ්‍රී ලංකාව යනු බහු ආගමික, බහු භාෂාත්මක සහ බහු වාර්ගික සමාජයක් බවත්, මෙම බහු සංස්කෘතික විවිධත්වය විදහා දැක්වීමට සාමය, සමගිය සහ සංහිඳියාව පතුරුවන මෙම උත්සව කාලයට වඩා අන් නිදසුන් නොපවතින බවත් තානාපති සමරසිංහ මැතිතුමා සිය දේශනය අතරතුර සඳහන් කළේ ය.

පැමිණ සිටි පිරිස ආශිර්වාද කළ වොෂින්ටන් ඩී.සී හි අපෝස්තලික තානාපති සේවය නියෝජනය කළ ගරු ජෝන් පෝල් පෙද්රේරා  පියතුමා, නත්තල් පණිවිඩයේ විශ්වීයත්වය වන්නේ එමඟින් ලොව සියලුම ජනතාව අතර එකමුතුකම ගොඩනැංවෙන බව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ද්විත්ත්වය වන සිංහල සහ දෙමළ මෙන්ම සම්බන්ධක භාෂාව වන ඉංග්‍රීසි භාෂාව යොදාගනිමින් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයෙකු විසින් බයිබල් පාඨ කියවන ලදී. තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ දරුවෝ නත්තල් කැරොල් ගීත ගායනා කළහ. නත්තල් සීයාගේ අංගයක් ද  මෙම සැමරුම් උත්සවයට ඇතුළත් කොට තිබිණි. තානාපති සමරසිංහ මැතිතුමා මීට සහභාගී වූ දරුවන්ට තිළිණ බෙදා දුන්නේ ය.

මෙම උත්සවය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට සහභාගී වූහ. එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ද අතථ්‍ය අයුරින් මෙම අවස්ථාවට‍ සහභාගී වූහ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 ජනවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close