ශ්‍රී ලංකා තානාපතිනිය අනිත්කබීර් සොහොන් ගර්භයේ පැවති පුෂ්පෝපහාර උත්සවයට සහභාගී වේ

ශ්‍රී ලංකා තානාපතිනිය අනිත්කබීර් සොහොන් ගර්භයේ පැවති පුෂ්පෝපහාර උත්සවයට සහභාගී වේ

තුර්කි ජනරජයේ ජනාධිපතිවරයාට සිය අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, මෑතක දී අන්කාරා නුවර අනිත්කබීර් සොහොන් ගර්භයේ පැවති පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූවා ය.

තානාපතිනියගේ පවුලේ සාමාජිකයන්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද තානාපතිනිය සමඟ මෙම උත්සවයට සහභාගී වූහ.

අනිත්කබීර් හි සන්ධාන ප්‍රධානියා විසින් තානාපතිනිය පිළිගන්නා ලදී. සොහොන් ගර්භය වෙත පුෂ්පෝපහාර දැක්වීම, විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, තානාපතිනිය විසින් "ගෞරවනීය පුස්තකයට" අත්සන් තැබීම සහ අටටුර්ක් කෞතුකාගාරය නැරඹීම සහ නිදහස සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද යුද කෞතුකාගාරය නැරඹීම යනාදිය මෙම උත්සවයට ඇතුළත් විය.

මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමා, සංවර්ධනය සඳහා ඉවහල් වන පූර්ව අවශ්‍යතාවක් ලෙස සැලකෙන කාන්තාවන් සවිබල ගැන්වීමට තුඩු දුන් “කෙමාලිස්ට්” මතවාදයේ අංගයක් වන අනුගාමික, බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඔස්සේ ජාතිය නවීකරණය කිරීමට ක්‍රියා කළ, තුර්කි ජනරජයේ දූරදර්ශී ආරම්භක පියා ලෙස හැඳින්වේ.

අටටුර්ක් මැතිතුමාගේ ප්‍රතිසංස්කරණවලට දේශපාලනික, නෛතික, ආගමික, සංස්කෘතික, සමාජීය සහ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් මාලාවක් ඇතුළත් වූ අතර, එය නව තුර්කි ජනරජය අනුගාමික, නූතන ජාතික රාජ්‍යක් බවට පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. එම ප්‍රතිසංස්කරණ කෙමාල් මතවාදයට අනුව මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කරන ලදී. අටර්ටුක් මැතිතුමාගේ අභිලාෂ වත්මන් ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මැතිතුමා  විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර, එමඟින් කාර්මිකකරණය සහ වේගවත් සංවර්ධනයක් සිදු වේ.

"ගෞරවනීය පුස්තකයට" අත්සන් තැබූ තානාපතිනිය, "තුර්කි ජනරජයේ ආරම්භක පියා වන කීර්තිමත් මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමාගෙන් ලද දායාදය සැබවින්ම ගෝලීය වශයෙන් සුවිශේෂී වූවකි. එතුමා බහුත්වවාදය, ප්‍රජාතන්ත්‍රවාදය සහ අනුගාමිකත්වය වෙනුවෙන් පෙනී සිටිමින් තුර්කිය නවීකරණය කිරීමේ  ක්‍රියාවලියට නායකත්වය දුන්නේ ය” යනුවෙන් එහි සටහන් කළා ය.

“පෘථිවියේ වෙසෙන කාන්තා පුරවැසියෙකු වන මා, ඕනෑම මානව සමාජයක සංවර්ධනය සඳහා ඉවහල් වන පූර්ව අවශ්‍යතාවයක් වන, සමාජයේ වෙසෙන කාන්තාවන්ගේ භූමිකාව අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් දූරදර්ශී ලෙස කටයුතු කළ පුද්ගලයකු ලෙස එතුමා හඳුන්වමි”.

 තවද එතුමිය, “විද්වතෙකු වන මුස්තාෆා කෙමාල් අටටුර්ක් මැතිතුමා මගේ රට වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා දීප්තිමත් ආදර්ශයක් වේ.  එනම්, සමකාලීන තත්ත්වයන් තුළ සංස්කෘතික ලක්ෂණ රඳවා ගනිමින් අධිෂ්ඨානය සහ ඔරොත්තු දීමේ හැකියාව ඔස්සේ වේගවත් සංවර්ධනයක් ළඟා කර ගත හැකි ආකාරය එතුමා ගෙනහැර දක්වයි” යනුවෙන් ද එම පුස්තකයේ සටහන් කළා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 ජනවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close