එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක වටිනාකමින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක වටිනාකමින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 7,270,756.31 ක (ශ්‍රී.ලං.රු. බිලියන 2.7) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් තුන්වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනතාවට පිරිනැමීම සඳහා අවශ්‍ය රජයේ අනුමැතිය ලබාගෙන ඇත. අධි රුධිර පීඩනය සහ අනෙකුත් හෘද රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රොප්‍රනොලෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් සහ ලබෙටලෝල් එච්.සී.එල්., ශරීරයේ අවම පොටෑසියම් මට්ටමක් පවතින විට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන පොටෑසියම් ක්ලෝරයිඩ්,  මානසික අවපීඩනය, භින්නෝන්මාදය, ද්වි ධ්‍රැව මානසික අක්‍රමතාව වැනි ඇතැම් මානසික රෝග/මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන කියුටපයින් ෆියුමරේට් සහ රුධිරයේ පවතින ඉහළ යූරික් අම්ල මට්ටම අඩු කිරීමට සහ රක්තවාතය (ආතරයිටිස් ප්‍රභේදයකි) වැළැක්වීමට භාවිතා කරන ඇලෝපුරිනෝල් ඖෂධ විශාල ප්‍රමාණයක් මෙම නවතම පරිත්‍යාගයට ඇතුළත් වේ.

වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මෙම තීරණාත්මක මොහොතේ දී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් නොමසුරුව පරිත්‍යාග පිරිනැමීම සඳහා කටයුතු කළ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත සිය අවංක කෘතඥතාව පළ කර සිටියි. තුන්වැනි ඖෂධ පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 දෙසැම්බර් 29 වැනි දින ගුවනින් කොළඹට එවීමට නියමිත ය. මින් පෙර පිරිනැමූ පරිත්‍යාග මෙන්ම, මෙම පරිත්‍යාගයට අදාළ සියලුම වියදම් හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් දරනු ලැබේ. මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ ජනතාව අතර නොමිලේ සහ කඩිනමින් බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කරනු ලැබේ.

හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය මේ වන විට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 19,915,909.38 ( ශ්‍රී. ලං. රු. බිලියන 7.4) ක වටිනාකමින් යුත් ආධාර මෙරටට පිරිනමා ඇත.

කැන්සාස් හි ලෙනෙක්සා හි පිහිටි හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (HHI) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංවිධානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් 130කට වඩා අධික සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙම සංවිධානය වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීම මගින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත් හමුවේ සිය සහය ලබා දෙයි. මෙම සංවිධානය තරු 4 Charity Navigator පුණ්‍යායතනයක් සහ BBB සහතිකය ලත් පුණ්‍යායතනයක් වන "Philanthropy 400"ට ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                           හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල්

වොෂින්ටන් ඩී. සී.                                                                                              කැන්සාස්

2022 දෙසැම්බර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close