වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර ආහාර උළෙල - 2022 සඳහා සහභාගී වේ

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර ආහාර උළෙල – 2022 සඳහා සහභාගී වේ

වියට්නාමයේ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යශය විසින් 2022 දෙසැම්බර් 11 වැනි දින හැනෝයි හිදී සංවිධානය කරන ලද වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට සහභාගී විය. මෙම වාර්ෂික උත්සවයේ 10 වැනි හමුවට රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, හැනෝයි හි පිහිටි රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන, විදේශ කටයුතු අමාත්‍යංශයේ පළාත් කාර්යාල, පළාත් ආණ්ඩු සහ වියට්නාම ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ සහභාගී වූහ.

මෙම උළෙල අතරතුර පිසින ලද කොත්තු රොටි සහ ආප්ප වැනි සුවිශේෂී ශ්‍රී ලාංකික ආහාරවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය මෙම උත්සවයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවලින් එකක් විය. ඩිල්මා–ලංකා තේ- වියට්නාම් සමාගම ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ කෙටි ආහාර සමඟින් ලංකා තේ සංග්‍රහ කෙරිණි. මෙහිදී වියට්නාම ජාතිකයන් මෙන්ම අනෙකුත් විදේශිකයෝ ද ශ්‍රී ලංකාවේ ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාර භුක්ති වින්දා හ.

මෙම ආහාර උළෙල ප්‍රදර්ශන කුටි 131 කින් සමන්විත වූ අතර 5000 කට ආසන්න පිරිසක් ඊට සහභාගී විය. හැනෝයි හි සහ වියට්නාමයේ අනෙකුත් ප්‍රධාන නගර සහ පළාත්වල ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම අවස්ථාවට ක්‍රියාකාරීව සහභාගී වූ අතර ඉතා සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම සඳහා ඔවුහු තානාපති කාර්යාලය වෙත සිය නොමසුරු සහය ලබා දුන්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනෝයි

2022 දෙසැම්බර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close