විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා බාලි හි දී කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීමට සහභාගී වෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා බාලි හි දී කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීමට සහභාගී වෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 දෙසැම්බර් 5-6 දිනවල ඉන්දුනීසියාවේ බාලි හි දී පැවති කොදෙව් හා දූපත් රාජ්‍ය (AIS) සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීම අමතමින්, සමුද්‍ර ආශ්‍රිත ව්‍යසනවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට සහ පශ්චාත් ආපදා ප්‍රතිසාධනයට සහාය වීමට ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ සුවිශේෂී බව සහ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ න්‍යාය පත්‍රය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, සංසදය විසින් පිහිටුවන ලද සාමූහික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ සාමාජික රටවල් සමඟ ඵලදායි ලෙස සහයෝගය දැක්වීම සහ සම්බන්ධීකරණය සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ රාජ්‍යයන් තුළ පවතින ආයෝජන අවස්ථා සහ අදාළ සාමාජික රටවලට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය.

මෙම කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයට සමගාමීව, අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ආයෝජන කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුට් බී පන්ඩ්ජායිටන් මැතිතුමා, මැඩගස්කරයේ ආරක්ෂක අමාත්‍ය රකොටොනිරිනා ජීන් රිචඩ් මැතිතුමා සමඟ ඵලදායී ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වූ අතර, පිළිවෙලින් පැපුවා නිව්ගිනියාවේ සහ ටිමෝර් ලෙස්ටේ හි විදේශ කටයුතු අමාත්‍යවරුන් ද හමුවිය.

තවද, සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිය අදහස්, උත්සාහයන් සහ ශ්‍රී ලංකාවේ නායකත්වය බෙදාහදා ගැනීම සඳහා අමාත්‍යවරයා ‘නීල නවෝත්පාදන විසඳුම් සම්මන්ත්‍රණය සහ සාගර ආරක්ෂාව සඳහා දේශීය ශූරයින්’ යන මැයෙන් පැවති අතුරු උත්සව අංගයකට ද සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 දෙසැම්බර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close