ටිරෝල් සඳහා නව නිර්වේතනික කොන්සල්වරයෙකු පත් කිරීම

ටිරෝල් සඳහා නව නිර්වේතනික කොන්සල්වරයෙකු පත් කිරීම

ශ්‍රී ලංකා රජය, ඔස්ට්‍රියා ජනරජයේ රජයේ එකඟතාව ඇතිව, ටිරෝල් කලාපයේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයා ලෙස ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපන් මහතා පත් කර ඇත.

ටිරෝල් හිදී පැවති නිල උත්සවය සඳහා ටිරෝල් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ උප සභාපති සොෆියා කර්චර් මැතිනිය, උප නගරාධිපති මාර්කස් ලැසෙන්බර්ගර් මැතිතුමා, සහ ටිරෝල් හි පළාත් පාලන ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන් ඇතුළුව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පළාත් පාලන නියෝජිතයන් සහ වෙළඳ, ආයෝජන, සංචාරක සහ වෛද්‍ය සැපයුම් අංශවල නියෝජිතයින්, ව්‍යාපාරික සබඳතා ඇති අය, මාධ්‍ය මෙන්ම මිතුරන් සහ පවුල්වල සාමාජිකයන් ද සහභාගී විය.

නිල උත්සවය අමතමින් තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර 1954 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතා සිහිපත් කළේය. කලාපය තුළ නිර්වේතනික කොන්සල් කාර්යාලයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරන ලෙස අලුතින් පත් කරන ලද නිර්වේතනික කොන්සල් ආචාර්ය ක්‍රිස්ටියන් ස්ටෙපන් මහතාගෙන් ඉල්ලා සිටියේය. නිර්වේතනික කොන්සල්වරයා පත් කිරීම ශ්‍රී ලංකාව සහ ටිරෝල් අතර සමීප වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් නොව, සංචාරක ව්‍යාපාරය, ආයෝජන සහ ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීමට ද උපකාරී වනු ඇති බව ප්‍රකාශ කළේය.

රැස්වීම අමතමින්, අභිනවයෙන් පත් වූ නිර්වේතනික කොන්සල් ආචාර්ය ස්ටෙපන් මහතා ශ්‍රී ලංකාවට වෙළඳාම, සංචාරක සහ ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සඳහා ටිරෝල් කලාපයේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන තම කැපවීම සහතික කළේය. ඔහු ශ්‍රී ලංකාවේ සහ ටිරෝල් යන දෙරටෙහිම හොඳින් ස්ථාපිත සංචාරක ක්ෂේත්‍රයන් ඉස්මතු කළ අතර, එම ක්ෂේත්‍රය තවදුරටත් නංවාලීම සඳහා එකිනෙකාට සහයෝගය දැක්වීමේ හැකියාව අවධාරණය කළේය.

වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ආචාර්ය ස්ටෙපන් මහතා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් සමඟ සමීප සබඳතාවක් පවත්වයි.

ටිරෝල් හි නිර්වේතනික කොන්සල්වරයා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩකටයුතුවලට සහාය දක්වන අතර, ඔස්ට්‍රියාවේ ස්ටිරියා සහ කරින්තියා සහ සල්ස්බර්ග් හි පිහිටි නිර්වේතනික කොන්සල් කාර්යාල සමඟ එක්ව කටයුතු කරනු ඇත.

ටිරෝල් හි නව නිර්වේතනික කොන්සල් කාර්යාලයේ සම්බන්ධතා තොරතුරු පහත පරිදි වේ:

 

Honorary Consul of Sri Lanka in Tyrol

Wilhelm-Greil-Straße 23, Innsruck

Tel: +43 (0)577 88 99

Email: tirol@honcon-slk.at

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය

වියානා

2022 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close