මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලාංකික ආහාර උළෙලක් සහ සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කරයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලාංකික ආහාර උළෙලක් සහ සංස්කෘතික වැඩසටහනක් සංවිධානය කරයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මුම්බායි හි ජේ.ඩබ්. මැරියට් ජූහු හෝටලය සමඟ එක්ව, සතියක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ආහාර උළෙලක් සහ සංස්කෘතික වැඩසටහනක් 2023 පෙබරවාරි 24 වැනි දින සංවිධානය කළේ ය. 2023 පෙබරවාරි 24 සිට 2023 මාර්තු 02 වැනි දින තෙක්, එනම් සතියක් මුළුල්ලේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය පුළුල් ලෙස සැමරීම සඳහා සංවිධානය කරන ලදී. අමුත්තන් 200 දෙනෙකු පමණ ඊට සහභාගී විය.

පෙබරවාරි 24 වැනි දින මෙම ආහාර උළෙලේ සමාරම්භක රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන ලදී. මුම්බායි නුවර සිටින විවිධ රටවල කොන්සල් ජනරාල්වරු සහ මුම්බායි නුවර වෙළඳ, අධ්‍යාපන, සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අයත් කීර්තිමත් පුද්ගලයින් පිරිසක් ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතාගේ ඇරයුමකට අනුව මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විචිත්‍ර සම්ප්‍රදායික වෙස් මුහුණු, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන පින්තූර සහ විවිධ ලංකා තේ වර්ගවලින් වේදිකාව සරසා තිබුණි.ඊට අමතරව, අමුත්තන්ට ලංකා තේ පිළිගන්වන සජීවී කවුන්ටරයක් ​​ සහ ශ්‍රී ලංකාවේ ගුණාත්මක කුළුබඩු ප්‍රදර්ශනයකරන ප්‍රදර්ශන කුටියක් ද සකස් කර තිබිණි. එපමණක් නොව, එම සතිය තුළ උත්සවයට සහභාගී වූ අමුත්තන් විශාල පිරිසට පිළිගැන්වීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩලය හෝටලය වෙත ලංකා තේ පෙට්ටි සැපයුවේ ය. වැලිගම මැරියට් සහ කොස්ගොඩ ෂෙරාටන් හෝටලය නියෝජනය කරමින් මුම්බායි වෙත පැමිණි ශ්‍රී ලාංකික සූපවේදීන් දෙදෙනෙකු විසින් සකස් කරන ලද ශ්‍රී ලාංකික ආහාර වර්ග මෙම ආහාර උළෙලෙහි දී දැකගත හැකි විය.

වර්ණවත් ශ්‍රී ලාංකික ඇඳුම්වලින් සැරසුණු ශ්‍රී ලාංකික නර්ථන ශිල්පීන් පිරිසක් ඉදිරිපත් කළ සංස්කෘතික වැඩසටහන මෙම උළෙලේ විශේෂ අවස්ථාවක් බවට පත් විය. ශ්‍රී ලංකා ධජය මුද්‍රිත දංකොටුව මග් කෝප්පයක්, ඩිල්මා තේ, මිනා තේ, සංචාරක තොරතුරු සහිත අත් පත්‍රිකාවක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මගින් නිකුත් කරන ලද සංචාරක සිතියමක් ඇතුළත් ත්‍යාගයක් දූත මණ්ඩලය විසින් අමුත්තන් වෙත පිරිනමන ලදී. අලි ඇතුන්ගේ රුව යොදා සරසන ලද ශ්‍රී ලාංකික සමරු තිළිණ මෙම අවස්ථාවට සහභාගී වූ දරුවන් වෙත පිරිනමන ලදී.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ අනෙකුත් කීර්තිමත් පුද්ගලයින් මෙම උත්සවය මැනවින් සහ සාර්ථකව සංවිධානය කළ ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත සුබපැතුම් පළ කළහ.

 

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

 

2023 මාර්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close