විදේශ කටයුතු අමාත්‍යවරයා, ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 22 වැනි රැස්වීමට (CFAMM) සහභාගි වීමට සැරසෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා, ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 22 වැනි රැස්වීමට (CFAMM) සහභාගි වීමට සැරසෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 15 වැනි දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගි වනු ඇත. විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම රැස්වීමට පෙර, එනම් මාර්තු 13 වැනි දින පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට සහභාගි වනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් එක්සත් කිරීමේ වටිනාකම් සහ අභිලාෂ ගෙනහැර දක්වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10ක් සපිරීමේ සංවත්සරය ද එදින සනිටුහන් කෙරේ.  මෙම වටිනාකම් සංකේතවත් කරන “the Commonwealth of Nations Flag for Peace” නමැති මුලපිරීමට සාමාජික රාජ්‍යයන් මෙහිදී සිය සහය පළ කරනු ඇත.  තවද, මෙම අවස්ථාවට සහභාගි වන විදේශ කටයුතු අමාත්‍යවරුන් වෙනුවෙන් තුන්වැනි චාල්ස් රජු විසින් සංවිධානය කරනු ලබන උත්සවයකින් මෙම වැඩසටහන අවසාන කිරීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යවරු මෙවර රැස්වීම හරහා සාමකාමී සහ තිරසාර සමාජ තුළ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අවශ්‍යතාව, පාරිසරික තිරසාරභාවය සඳහා දේශගුණික මූල්‍යකරණය, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාම සහ ඩිජිටල් සම්බන්ධතාව ඉහළ නැංවීම හා සබැඳි පොදු අභියෝගවලට ඒකාබද්ධ ප්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කරනු ඇත.

 අමාත්‍ය සබ්රි මැතිතුමා මීට සමගාමීව විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු (FCDO) පිළිබඳ ගරු රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි මැතිතුමා හමුවීමට නියමිත ය. තවද එතුමා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (රජුගේ නීතිඥ) මැතිනිය, ඉන්දු - පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි ට්‍රෙව්ලියන් මැතිනිය සහ අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිත ඇබර්සොක් හි මර්වින් ඩේවිස් සාමිවරයා සමඟ ද ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට නියමිත ය. ගරු නෙස්බි සාමිවරයා  සවස් යාමයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත තේ පැන් සංග්‍රහයකට ද අමාත්‍ය සබ්රි මැතිතුමා සහභාගි වනු ඇත. අමත්‍යවරයා මෙහිදී, ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ පවත්වන සබඳතා පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හරස්කඩක් හමුවේ අදහස් දක්වනු ඇත. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම වැඩසටහන  සංවිධානය කරනු ලැබේ.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සිය ලන්ඩන් සංචාරය අතරතුර රුවන්ඩාව (පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරය දරයි) , කෙන්යාව, පාකිස්තානය සහ මැලේසියාව යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close