2023 මාර්තු 10-11 යන දිනවල සිංගප්පූරුවේ ඕල්ඩ්හම් රඟහලේ පැවති ශ්‍රී ලංකා චිත්‍රපට උළෙල

2023 මාර්තු 10-11 යන දිනවල සිංගප්පූරුවේ ඕල්ඩ්හම් රඟහලේ පැවති ශ්‍රී ලංකා චිත්‍රපට උළෙල

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, සිංගප්පූරුවේ ආසියානු චිත්‍රපට සංරක්ෂණාගාරය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සැමරීම සඳහා දියත් කළ ප්‍රවර්ධන සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කළේ ය. 2023 මාර්තු 10-11 දක්වා අඛණ්ඩව පැවති මෙම චිත්‍රපට උළෙලේ දී, සංරක්ෂණය කරන ලද ශ්‍රී ලාංකික සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණි. එම චිත්‍රපට සිංගප්පූරු චිත්‍රපට ලෝලීන්, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් සහ සිංගප්පූරුවේ වෙසෙන විදේශිකයන් විසින් පසසන ලදී.

ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද “බඹරු ඇවිත්” චිත්‍රපටය 2023 මාර්තු 10 වැනි දින ප්‍රදර්ශනය කිරීමත් සමඟ මෙම චිත්‍රපට උළෙල ආරම්භ කෙරිණි. චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය විසින් සත්කාරකත්වය සපයන ලද උත්සවයක් පැවැත්විණි. සිංගප්පූරුවේ ආසියානු චිත්‍රපට සංරක්ෂණාගාරයේ විධායක අධ්‍යක්ෂ කරන් චෑන් මහතා සමාරම්භක උත්සවය අතරතුර මෙම චිත්‍රපට උළෙල පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කළේ ය.

සමාරම්භක උත්සවයට පැමිණි පිරිස පිළිගත් මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය, මෙම ක්‍රියාදාමය ඔස්සේ විවිධ රටවල මිනිසුන්, සංස්කෘතීන් සහ අදහස් විශ්මිත ආකාරයෙන් සම්බන්ධ වන බවත්, විවිධ පැතිකඩයන් ඔස්සේ ශ්‍රී ලංකාව සැබැවින්ම හඳුනාගැනිමට හැකි වන බවත් සඳහන් කළා ය.  සිනමාව නමැති ප්‍රබල මාධ්‍ය හරහා, ගෝලීය නගරයක් වන සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වන වැදගත් සංස්කෘතික දොරටුවක් බවට මෙම උත්සවය පත්වන බවද මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය. ශ්‍රී ලාංකික සිනමාව සිංගප්පූරුවට හඳුන්වා දීම සඳහා දැක්වූ සහයෝගය සහ හවුල්කාරිත්වය වෙනුවෙන් මහ කොමසාරිස් ප්‍රේමවර්ධන මැතිනිය සිංගප්පූරුවේ ආසියානු චිත්‍රපට සංරක්ෂණාගාරයේ විධායක අධ්‍යක්ෂ ඇතුළු කණ්ඩායම වෙත සිය ස්තුතිය පුද කළා ය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ, පසුව සංරක්ෂණය කරන ලද ශ්‍රී ලාංකික සම්භාව්‍ය චිත්‍රපටයක් වන “නිධානය”, 2023 මාර්තු 11 වැනි දින ප්‍රදර්ශනය කරන ලදී. සිංගප්පූරු මහජනතාවට ශ්‍රී ලාංකික කලාත්මක සිනමාව හඳුන්වා දීමටත්, සිංගප්පූරුව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටත් මෙම උළෙල මගින් අවස්ථාව උදා විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2023 මාර්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close