මාගේ සාමිවරුනි, මෙම කරුණාවන්ත කථාව මම සාදරයෙන් පිළිගනිමි. මගේ අදහස් දැක්වීම ගෝලීය බ්‍රිතාන්‍යය, විශේෂයෙන් ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි පවතින නැඹුරුව පිළිබඳවය. මගේම පසුබිම නම්, මම ඉන්දියාවේ, පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ජීවත් වී වැඩ කර ඇති අතර, ආසියාන් හි සෙසු ප්‍රදේශ ද මම හොඳින් දනිමි. මම විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව කථා කරන්නෙමි, සර්ව පාක්ෂික කණ්ඩායමේ ඒකාබද්ධ සභාපතිවරයා ලෙස මම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නෙමි.
අද ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලදැයි කියනු ලබන යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව හා ප්‍රධාන කණ්ඩායමේ මුලසුන දරන රට ලෙස එක්සත් රාජධානිය සිය කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල ආතතියක් පවතින අතර, මෙහි කිසිදු අර්ථයක් ඇතැයි එක්සත් ජනපදය නොදකින හෙයින් ඔවුන් මෙයින් ඉවත් වී ඇත. 2009 දී පැවති යුද්ධය සුළු කැරැල්ලක් පමණක් නොවූ හෙයින්, ජාත්‍යන්තර මානුෂීය නීතිය ලෙස හැඳින්වෙන සන්නද්ධ ගැටුම් නීතියේ පදනම මත එය විනිශ්චය කළ යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් සහ, ජනාධිපතිවරුන් දෙදෙනෙකු, ඇමතිවරුන්, දහස් ගණනින් සිවිල් වැසියන් සහ වඩාත් මධ්‍යස්ථ දෙමළ නායකයින් ඝාතනය කළ, බොහෝ විට ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් අතර සිදු වූ යුද්ධයක් විය. එය එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ඇන්ටන් බාලසිංහම්ගේ නායකත්වයෙන් යුත් අර්ධ වශයෙන් ලන්ඩනයේ කැම්ඩන් හි දෙමළ කොටින්ගේ ජාත්‍යන්තර මූලස්ථානයේ සිට මෙහෙයවන ලද යුද්ධයකි. නීතිවිරෝධී ලෙස මිලියන ගණනක් මුදල් මේ රටේ භූමියේ දී රැස් කරන ලදී. ඔහුගේ බිරිඳ ඇඩෙල් ශ්‍රී ලංකාවේ සටන් කරමින් සිටි අතර, යුනිසෙෆ් ප්‍රකාශ කළ පරිදි ළමා සොල්දාදුවන් 5,000 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා සමීපව සම්බන්ධ විය. ඕනෑම මිනුම් දණ්ඩකට අනුව, මෙය යුද අපරාධයකි.
එක්සත් ජාතීන්ගේ චෝදනා, කිසි විටෙකත් ශ්‍රී ලංකාවට නොගිය මානව හිමිකම් නීතිඥයින් තිදෙනෙකු විසින් සකස් කරන ලද දරුස්මන් වාර්තාවෙන් ආරම්භ වෙයි. ඊටත් වඩා නරක දෙය වන්නේ, අවම වශයෙන් සිවිල් වැසියන් 40,000 ක් මිය ගිය බව ඔවුන් කියා සිටීමයි. නමුත් සියලු සාක්ෂි ප්‍රභවයන් වසර 20 ක් තිස්සේ සඟවා තැබිය යුතු විය. මේවා ශක්තිමත් සාක්ෂි ද? මෙම රහස්‍යභාවය කුමක් නිසා ද?
එක්සත් ජාතීන්ගේ දෙවැනි වාර්තාව වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව (OISL) බොහෝ දුරට පදනම් වී ඇත්තේ පළමුවැන්න වන දරුස්මන් වාර්තාව මත ය. මගේ කෘතිය වන ‘ශ්‍රී ලංකාව: නැති වූ පාරාදීසය; නැවත ලබාගත් පාරාදීසය’ (Sri Lanka: Paradise Lost; Paradise Regained) හි ලැයිස්තුගත කර ඇති සියලු සාක්ෂි මූලාශ්‍ර නිරීක්ෂණය කරමින් මම වසර තුනක් ගත කළෙමි. මම මගේ උදාර මිතුරා වෙත එහි පිටපතක් ලබා දුන් නමුත්, ඔහු මෙතෙක් මට පවසා නොමැති බැවින් ඔහුට එය ලැබී ඇත්දැයි මම නොදනිමි. මෙම ප්‍රකාශය දෙමළ ජන සංහාරයක් සම්බන්ධයෙන් වන නමුත්, මගේ ස්ථිර නිගමනය වන්නේ උපරිම වශයෙන් 6,000 සිට 7,000 දක්වා මරණ සිදුවී තිබිය හැකි බවයි. මගේ සාක්ෂි සත්‍යාපනය කොට ඇත - එහි ජන සංහාරයක් සිදු වී නොමැත. මගේ සාක්ෂි ලැබෙන්නේ එක්සත් ජනපද තානාපති බ්ලේක් මැතිතුමා, එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර කණ්ඩායම, යුද්ධයෙන් පසුව දෙමළ ජනයා විසින් කරන ලද සංගණනය, මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මෙම ක්ෂේත්‍රයේ එක්සත් රාජධානියේම විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියෙක් සහ තවත් බොහෝ අය වෙතින් වන අතර, ඒ සැවොම 6,000 සිට 7,000 දක්වා සංඛ්‍යාව තහවුරු කරති. නමුත් මෑතකදී, මහ රැජිණගේ රාජ්‍යය විසින් මාර්තු 25 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ සිට මා වෙත එවන ලද ලිපියක සහ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය (FCO) වෙතින් ලද තවත් ලිපියක “ලුතිනන් කර්නල් ගාෂ් විසින් ලියන ලද ලිපි ...
... මෙම තොරතුරු ස්වාධීනව සත්‍යාපනය නොකකරන ලද … විවිධ ප්‍රභවයන් ගණනාවකින් ලද … හුදකලා තොරතුරු පිළිබඳ වාර්තාය. එබැවින්, ඒවා සාක්ෂි පදනම් කරගත් තක්සේරුවක් ලෙස සැලකිය නොහැකිය.” යයි සඳහන් කොට ඇත.
ස්වර්ගයේ නාමයෙන්, මා විසින් යවන ලද -සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලද කරුණු අඩංගු පිටු 48 ක්- එතරම් නිෂ්ඵල නම්, ඒවා දැඩි ලෙස නැවත සංස්කරණය කරනු ලබන්නේ මන්දැයි යමෙකුට කල්පනා කළ හැකිය. මාගේ විනිශ්චයට අනුව, එම නැවත සංස්කරණ වහාම ඉවත් කළ යුතුය.
අපගේ විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියා පසෙකට දමා, පෙනී යන අන්දමට මගේ සාක්ෂි ද පසෙකට දමා, එය දිගටම කරගෙන යාම පුදුම සහගතය. එක්සත් රාජධානියේ හොඳම මානව හිමිකම් නීතීඥවරුන් කිහිප දෙනෙකු - එනම් ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහ තවත් අය උපදේශකයින් ලෙස සිටි, පරණගම කොමිෂන් වාර්තාව කියවන ලෙස මම මගේ උදාර මිතුරාට කියමි. දරුස්මාන් වාර්තාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රබල මතය වූයේ, එම වාර්තා පදනම් වී ඇත්තේ නිර්නාමික මූලාශ්‍ර මත වන බැවින්, සත්‍යය තහවුරු කිරීමට උත්සාහ දරන උසාවියකට එහි වටිනාකමක් නොමැති බවයි. එක්සත් ජනපද විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියා ද ඇතුළුව, මේ මතය දරන තවත් අය සිටිති. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා හමුදාව නිසි ලෙස හැසිරුණු බවට සියලු දෙනාම වාර්තා කරති. 200,000 ක කඳවුර පිළිබඳ OISL වාර්තාවේ අදහස වූයේ එය අර්ධ ‘ගාල්කිරීමේ කඳවුරක්’ බවයි. පළමු දින සිටම රතු කුරුස හමුදාව එහි සිටිය දී මෙසේ වන්නේ කෙසේද? මීට අමතරව, එහි ගිය දෙමළ මන්ත්‍රීවරු, දෙමළ ජාතිකයන් රැකබලා ගත් ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් ස්තූතිය ප්‍රකාශ කළහ.
මම කෙටියෙන් ඉදිරි මාවත දෙසට හැරෙමි. සත්‍යය හා සංහිඳියාව විශාල අභියෝගයක් වන නමුත්, 2019 දී එහි සංචාරයක නිරත වූ අති උතුම් කැන්ටබරිහි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ, ශ්‍රී ලංකාව සැබෑ ප්‍රගතියක් ලබා ඇති බව පැවසූහ. ලෙගටම් ආයතනයේ අපගේ මිතුරු බැරන්වරිය වන උදාර ස්ට්‍රෝඩ් මැතිනිය පවසන්නේ පසුගිය දශකය තුළ දී ශ්‍රී ලංකාව අතිශයින්ම සාර්ථක වී ඇති බවයි. සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුවක් පිහිටුවීම සඳහා, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සහ පරණගම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙස මම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමි. එක්සත් රාජධානිය විසින් නියෝග පැනවීමට තෝරා ගන්නේ නම්, මා පැහැදිලිව යමක් සඳහන් යුතුය: ශ්‍රී ලංකාව පිළිබඳ අපගේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය සඳහා පැහැදිලි අවදානමක් පවතී. එමඟින් ශ්‍රී ලංකාවට නැවත චීනය මත යැපීම සඳහා බල කෙරෙනු ඇති අතර, එමඟින් මුහුදු මංතීරු කෙරෙහි තර්ජන එල්ලවීම සහ විසංවාදී දෙමළ ජනතාව විසින් ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම සිදුවනු ඇත. මෙය සැබවින්ම, ලෝක යුද්ධ දෙකක දී අපට උදව් කළ ජනතාවක් සිටින සහ එක්සත් ජාතීන්ගේ ෆෝක්ලන්ඩ්ස් ඡන්ද විමසීමේ දී අපේ රජය පිළිගෙන අපේ රජයට උදව් කළ රටකට ‘ස්තූතියි’ කීම සඳහා සුදුසු පිළිවෙතක් වන්නේ ද?