ශ්‍රී ලංකාවේ කොවිඩ් හදිසි අවස්ථාව හමුවේ සහන භාණ්ඩ සහ ආධාර ලබා දෙන ලෙස තානාපති ආර්යසිංහ මැතිතුමා විදේශීය ශ්‍රී ලාංකිකයන් සහ මිතුරන්ගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකාවේ කොවිඩ් හදිසි අවස්ථාව හමුවේ සහන භාණ්ඩ සහ ආධාර ලබා දෙන ලෙස තානාපති ආර්යසිංහ මැතිතුමා විදේශීය ශ්‍රී ලාංකිකයන් සහ මිතුරන්ගෙන් ඉල්ලා සිටී

එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන්, තානාපති කාර්යාලය එක්සත් ජනපද රජය සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ දී එල්ල වන අභියෝග හේතුවෙන් ඇති වූ හදිසි අවශ්‍යතාවයන් හමුවේ, එක්සත් ජනපදයේ විදේශීය ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ මිතුරන්ගෙන් සහන භාණ්ඩ සහ ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රජාව ඇමතූ සන්නිවේදනයක දී තානාපති ආර්යසිංහ මැතිතුමා පැවසුවේ, ක්ෂණික අවශ්‍යතාව වන්නේ වෙන්ටිලේටර් උපකරණ, ඔක්සිජන් සාන්ද්‍රක, ඉහළ ප්‍රවාහ ඔක්සිජන් ඒකක, බහු පරාමිති මොනිටර, එන් 95 මුහුණු ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ට භාවිතා කළ හැකි ටෙලිමෙඩිසින් වේදිකා යනාදිය බවයි.

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට දරන ප්‍රයත්න පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙමින් තානාපති ආර්යසිංහ මැතිතුමා පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සම්බන්ධයෙන් අප්‍රේල් මස අග දී එක්සත් ජනපද රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා දී ඇති නමුත්, මෙම එන්නත අවශ්‍ය සියලුම රටවලට මුදා හැරීමට පෙර එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් එය භාවිතා කිරීම සඳහා අවසර ලබා දිය යුතු බවයි. එක්සත් ජනපදය විසින් දැනටමත් දේශීය වශයෙන් අවසර ලත් එන්නත් බෙදාහදා ගන්නා බවට සඳුදා (මැයි 17) නිවේදනය කිරීමෙන් පසුව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහ දරන බව එතුමා පැවසීය. මීට අමතරව, මෙම එන්නත් මිලදී ගැනීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණින් යුතුව, තානාපති කාර්යාලය විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඉන්දියාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කලාපීය කළමනාකරු අතර සාකච්ඡා සඳහා පහසුකම් සපයා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන්

2021 මැයි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close