"The Newspaper" නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය රියාද් හිදී තිරගත වේ

“The Newspaper” නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය රියාද් හිදී තිරගත වේ

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Newspaper” නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය 2022 දෙසැම්බර් 15 වැනි දින සෞදි අරාබි රාජධානියේ දී තිරගත කෙරිණි. මෙය, රියාද් හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව ඇතුළු නේවාසික දූත මණ්ඩල කිහිපයක් සමඟ එක්ව සංවිධානය කරන ලද “Ambassador’s Choice: Film Festival” නමැති වැඩසටහනේ එක් අංගයකි. මෙම චිත්‍රපටය රුසියාවේ පැවති 18 වැනි කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි වන සම්මානය දිනාගැනීමට සමත් විය.

චිත්‍රපටය තිරගත කිරීමට පෙර, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කළේ ය. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය 1925 වර්ෂයේ ආරම්භ වූ බවත්, “රාජකීය වික්‍රමය” නමැති ප්‍රථම නිහඬ චිත්‍රපටය එවක තිරගත වූ බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියේ Shams Al-Ma'arif, ඉන්දියාවේ Bareilly Ki Barfi, ඇමරිකා එක්සත් ජනපදයේ CODA, ඕස්ට්‍රේලියාවේ The Sapphires (2012) සහ මෙක්සිකෝවේ Frida වැනි පිළිගත් සහ ප්‍රසිද්ධ චිත්‍රපට ඇතුළු විවිධ ප්‍රභේදවල තෝරාගත් චිත්‍රපට 15ක් මෙම උළෙලේ දී තිරගත කෙරිණි. මෙම අවස්ථාවට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, සෞදි ජාතිකයන්, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සහ සෞදි අරාබියේ වෙසෙන විදේශිකයන් කිහිප දෙනෙකු සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2022 දෙසැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close