ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කරයි

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCESL) සමඟ සහයෝගයෙන් 2022 දෙසැම්බර් 05 සිට 09 යන දිනවල 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික දූත පිරිසක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සංචාරයක් සංවිධානය කළේ ය. ලංකා තේ, කුළුබඩු, ඇසුරුම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ විසඳුම්, ආහාර නිෂ්පාදන සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන යනාදී නිෂ්පාදන සහ සේවා අංශ නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම් මෙම දූත පිරිසට ඇතුළත් විය.

මෙම සංචාරය අතරතුර, කොන්සල් ජනරාල් කාර්යාලය ඩුබායි හි ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ රාස් අල් කයිමා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ සහයෝගයෙන් දූත පිරිස සඳහා පුළුල් වැඩසටහනක් සංවිධානය කළේ ය.

සංචාරයේ නිරත දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳපොළ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරන ලද සැසියක් 2022 දෙසැම්බර් 05 වැනි දින කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරිකාර්, ඩුබායි හි ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBC) සභාපති රීසා මොහොමඩ් යන මහත්වරුන්ගේ සහ SLBC හි අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර ජාලගත කිරීම් පහසු කිරීම සඳහා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සහයෝගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්කගත ව්‍යාපාර ආයතන සමඟ ව්‍යාපාරාන්තර රැස්වීම් ගණනාවක් සංවිධානය කළේ ය.

සංචාරයේ නිතර දූත පිරිස, 2022 දෙසැම්බර් 06 වැනි දින සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (SCCI) පැවති ව්‍යාපාරික සංසදයකට සහ ව්‍යාපාරාන්තර රැස්වීම්වලට ද සහභාගී විය. SCCI හි අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් අහමඩ් අමීන් අල් අවාඩි මහතා සහ SCCI හි ව්‍යාපාර සහ සන්නිවේදන කටයුතු අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අබ්දුලාසිස් ෂටාෆ් මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස පිළිගන්නා ලදී.

මෙම දූත පිරිස 2022 දෙසැම්බර් 08 වැනි දින රාස් අල් කයිමා එමීර් රාජ්‍යයේ පැවති ව්‍යාපාරික සංසදයකට සහ ව්‍යාපාරාන්තර රැස්වීම්වලට සහභාගී විය. මෙම වැඩසටහන රාස් අල් කයිමා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ පැවති අතර, ඊට රාස් අල් කයිමා වාණිජ මණ්ඩලයේ සභාපති අලි මුසාබ්බේ අල් නුඅයිමි මහතා සහ රාස් අල් කයිමා වාණිජ මණ්ඩලයේ පළමු උප සභාපතිවරයා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහභාගී වූහ. රාජ්‍ය ආයතන කිහිපයක් සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගයෙන් රාස් අල් කයිමා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදයට ද දූත පිරිස සහභාගී විය.

දෙපාර්ශ්වය සාජා වාණිජ මණ්ඩලයේ සහ රාස් ඒ. කයිමා වාණිජ මණ්ඩලයේ පැවැත්වූ නිල මට්ටමේ රැස්වීම් අතරතුර, ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ආශ්‍රිත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ රාස් අල් කයිමා එමීර් රාජ්‍යය, සාජා එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සබඳතා පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කළහ. රාස් අල් කයිමා හි පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයක් ඇතුළත් අනාගත ද්විපාර්ශ්වික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට සහ ශ්‍රී ලංකා රජයට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට රාස් අල් කයිමා වාණිජ මණ්ඩලයේ සහ සාජා වාණිජ මණ්ඩලයේ සභාපතිවරු සහ නිලධාරීහු සහතික වූහ.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි සංචාරය සහ එමීර් රාජ්‍යයන් දෙකෙහි සිදු කළ වැඩසටහන් ඔස්සේ සංචාරයේ නිරත වූ දූත පිරිසට කර්මාන්ත පුළුල් පරාසයක් ආශ්‍රිත පවත්නා විභව සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් නිර්මාණය කෙරුණු අතර, දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වෙළෙඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ද මංපෙත් විවර විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යය

2022 දෙසැම්බර් 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close