ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් පාර්ලිමේන්තුවේ කථානායක හමුවෙයි

ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් පාර්ලිමේන්තුවේ කථානායක හමුවෙයි

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මොහොමඩ් ජවුහර් මැතිතුමා, මෙම වසරේ සැප්තැම්බර් මස පැවති මහ මැතිවරණයෙන් පසු සිව්වැනි වරටත් කුවේට් හි ජාතික සභාවේ කථානායක ධුරයට තේරී පත් වූ අහ්මඩ් අබ්දුල්අසීස් අල්-සාදූන් මැතිතුමා හමුවිය.

කුවේට් ජාතික සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා තානාපතිවරයා මෙම හමුව අතරතුර කථානායකගේ සහය ඉල්ලා සිටියේ ය. කථානායක ධුරයට තේරී පත්වීම සම්බන්ධයෙන් කථානායක වෙත සුබපැතුම් පිරිනැමූ තානාපතිවරයා, නිදහස ලැබීමට පෙර සහ පසු යන කාල වකවානුවලට අදාළව  ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළේ ය. කුවේට් ජාතික සභාවේ මන්ත්‍රීවරු මෙරට සිදු කළ සංචාර පිළිබඳව ද එතුමා මෙහිදී සිහිපත් කළේ ය.

තානාපතිවරයා වෙත සිය ස්තූතිය පුද කළ කථානායක අල්-සාදූන් මැතිතුමා,  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමක් නුදුරේදී ම පිහිටුවන බව ප්‍රකාශ කළේ ය. මෙවැනි කණ්ඩායමක් පිහිටුවීම සහ ඉදිරියේ දී දෙරටේ නීති සම්පාදකයන්ගේ සංචාර හුවමාරු කරගැනීම යනාදිය මඟින් දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එතුමා ප්‍රකාශ කළේ ය. කුවේට් රාජ්‍යයේ ආර්ථිකයට ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වන දායකත්වය කථානායකගේ ඇගයීමට ලක් විය. එතුමා 1975 වසරේ දී නිරත වූ ශ්‍රී ලංකා සංචාරය අතරතුර  හිටපු අග්‍රාමාත්‍ය  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමු වූ බවද සතුටින් සිහිපත් කළේ ය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේට්

2022 දෙසැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close