විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යංශය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු යළි පුබුදුවාළීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යංශය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු යළි පුබුදුවාළීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

2022 දෙසැම්බර් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති රැස්වීමක් අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වත්මන් අභියෝග, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපායමාර්ගික විකාශනය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල සතු කාර්යභාරය පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. මෙම රැස්වීමට අමාත්‍යංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හෝටල් සංගමය සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ඇතුළු ප්‍රධාන පාර්ශ්ව රැසක් සහභාගී විය. විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාලවල ප්‍රධානීහු අතථ්‍ය අයුරින් ඊට සහභාගී වූහ.

මෙය සංචාරක ව්‍යාපාරය නංවාළීම සඳහා විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල උපරිම දායකත්වය ගවේෂණය කිරීම සඳහා විදේශ අමාත්‍යංශය සහ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මුලපිරීමකි. 2022 නොවැම්බර් 18 වැනි දින, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පාර්ශ්වකරුවන් සමඟ මූලික මට්ටමේ නිල රැස්වීම පැවැත්විණි.

ආරම්භක දේශනය පැවැත්වූ විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ප්‍රමුඛතාවක් වන බැවින් එය සෘජු විදේශ විනිමය උපදවන ප්‍රභවයක් ලෙස වර්තමාන ආර්ථික සන්දර්භය තුළ විශේෂයෙන් වැදගත් වන බවත්, සංචාරකයන් සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ ඍණාත්මක ප්‍රචාරවලට එරෙහිව කටයුතු කිරීම සඳහා විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාලවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බවත් අවධාරණය කළේ ය.

සංචාරක කර්මාන්තය පුබුදුවාළීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් විසින් සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග සහ උපායමාර්ග පිළිබඳව අමාත්‍යවරයා සහ නිලධාරීහු මෙම හමුව අතරතුර පුළුල්  සාකච්ඡා පැවැත්වූ හ.

දූත මණ්ඩල/කාර්යාලවල ප්‍රධානීහු මෙම පුළුල් සහ ඵලදායී අදහස් හුවමාරුව අතරතුර, සංචාරක ප්‍රවර්ධනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, අදාළ වෙළඳපොළවල් තුළ පවතින ශක්‍යතා සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ දී අදාළ සත්කාරක රටවල්/අක්ත ගන්වන ලද රටවල් යොදාගන්නා හොඳම භාවිතයන් පිළිබඳ තොරතුරු බෙදාහදා ගත් හ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 දෙසැම්බර් 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close