ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද සාවද්‍ය තොරතුරු

ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද සාවද්‍ය තොරතුරු

2022 දෙසැම්බර් 16 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකමක් පිළිබඳව රූපවාහිනී නාලිකා කිහිපයක වාර්තා වූ පුවත් පිළිබඳව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත. ඕමානයේ ශ්‍රී සම්බුද්ධ විහාරයේ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම පිරිත් සජ්ඣායනා පිංකම සඳහා වැය වූ වියදම් පිළිබඳව පළ වී ඇති සාවද්‍ය  තොරතුරු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර සිටියි.

මේ සඳහා අවශ්‍ය සියලු වියදම් ශ්‍රී සම්බුද්ධ විහාරයේ කමිටුව විසින් දරන ලද බවත්, තානාපති කාර්යාල පරිශ්‍රයේ “පිරිත් මණ්ඩපය” ස්ථාපනය කිරීම සඳහා පමණක් එම කමිටුව තානාපති කාර්යාලයේ සහය ලබා ගත් බවත් තානාපති කාර්යාලය යළිදු අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා රජය, තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙම පිංකම සඳහා කිසිදු මුදලක් වෙන් කර නෙැමත.

ඕමානයේ අතරමං වූ ගෘහ සේවිකාවන් 283 දෙනෙකුගේ ගෙවීම් අවලංගු කර ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා තානාපති කාර්යාලය ඕමාන බලධාරීන් සමඟ මෙම වසරේ දී සාර්ථක සාකච්ඡා පැවැත්වූ අතර,  නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පිළිවෙළින් කාන්තා සංක්‍රමණික සේවිකාවන් 58 දෙනෙකු සහ 22 දෙනෙකු ආපසු මෙරටට ගෙන්වා ගන්නා ලදී.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර පවතින විශිෂ්ට, සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින්, නිසි ක්‍රමවේද ඔස්සේ පමණක් රැකියාවලට යොමු වන ලෙස ඕමානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් දිරිමත් කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්, ඕමානය

2022 දෙසැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close