2023 කැන්බරා බහු සංස්කෘතික උළෙලේ දී ශ්‍රී ලංකාව “ආසියාවේ හොඳම වනජීවී සහ වික්‍රමාන්විත සංචාරක ගමනාන්තය” ලෙස විදහා දැක්වේ

2023 කැන්බරා බහු සංස්කෘතික උළෙලේ දී ශ්‍රී ලංකාව “ආසියාවේ හොඳම වනජීවී සහ වික්‍රමාන්විත සංචාරක ගමනාන්තය” ලෙස විදහා දැක්වේ

කැන්බරා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස, ඕස්ට්‍රේලියානු අගනගර රජය විසින් සංවිධානය කරන ලද "වාර්ෂික බහු සංස්කෘතික උත්සවය- 2023" සඳහා සහභාගි විය.

කැන්බරා නගර මධ්‍යයේ පැවැත්වෙන මෙම බහු සංස්කෘතික උත්සවය, කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනක් මුළුල්ලේ පැවැත්වීමට නොහැකි විය. එබැවින්, එය මෙවර පැවැත්වෙන්නේ වසර තුනක විරාමයකින් පසුව ය.

වර්ණවත් සම්ප්‍රදායික වෙස් මුහුණු, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන පෝස්ටර්, ලංකා තේ ප්‍රවර්ධනය කරන බැනර් ආදියෙන් සරසා තිබූ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය හා ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගන්නා ලදී. ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ තේමාව වූයේ "ශ්‍රී ලංකාව - ආසියාවේ හොඳම වනජීවී සහ වික්‍රමාන්විත සංචාරක ගමනාන්තය" යන්න යි. ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රධාන ස්ථාන, සිත් ඇදගන්නාසුළු වනජීවී සෆාරි, තල්මසුන් නැරඹීම, විශේෂිත පක්ෂීන් යනාදිය මෙහිදී විදහා දැක්විණි. මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදර්ශන කුටියට පැමිණි අමුත්තන් අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කරන අත්පත්‍රිකා සහ තොරතුරු පත්‍රිකා බෙදාහරින ලදී.

ඕස්ට්‍රේලියානුවන් අතර ලංකා කළු තේ සහ හරිත තේ ප්‍රචලිත කිරීම සඳහා "ලංකා තේ රස බැලීමේ" වැඩසටහනක් ද පවත්වන ලදී. තේ රස බැලීමේ උත්සවයට අමුත්තන් බොහෝ දෙනෙකු ආකර්ෂණය විය. එහිදී හරිත තේ වඩාත් ජනප්‍රියත්වයට පත් විය.තිරසාර, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න බවින් යුක්ත ආහාරපාන සඳහා ඕස්ට්‍රේලියානුවන් අතර පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් හරිත තේ වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

350,000 ක පමණ පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණිය හ. දර්ශනීය විනෝදාස්වාද වැඩසටහනක් සහ ලොව විවිධ ආහාර හා සංස්කෘතීන් ප්‍රදර්ශනය කරන කුටි සිය ගණනක් ඊට ඇතුළත් විය.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කැන්බරා හි විචිත්‍රවත් වීදි ජීවන සංස්කෘතිය විදහා දක්වන අංගයක් බවට මෙම උත්සවය පත්ව ඇත.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

 

2023 මාර්තු 07 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close