චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති සංචාරක ප්‍රවර්ධන උත්සවය සඳහා උද්‍යෝගිමත් ප්‍රතිචාර හිමි වේ

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති සංචාරක ප්‍රවර්ධන උත්සවය සඳහා උද්‍යෝගිමත් ප්‍රතිචාර හිමි වේ

චීනයේ බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ක්‍රියාකරුවන්, නියෝජිතායතන, සේවා සපයන්නන්, මාධ්‍ය සහ රාජ්‍ය නියෝජිතයින් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය සහිතව ඉතා සාර්ථක සංචාරක ප්‍රවර්ධන උත්සවයක් සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන, අමාත්‍ය උපදේශිකා නාලිකා කොඩිකාර, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නිෂාද් විජේතුංග, හෝටල් සංගමයේ සභාපති එම්.ශාන්තිකුමාර්, සහ ස්ප්‍රින්ග් ට්‍රැවල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ යැන්ග් යැන්ග් යන මහත්ම මහත්මීහු උත්සව සභාව ඇමතූ හ. ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව සඳහන් කළ ඔවුහු, ශ්‍රී ලංකාව තුළ සංචාරයේ නිරත වීම ප්‍රවර්ධනය කිරීමට සහය වන ලෙස සංචාරක ක්‍රියාකරුවන් සහ මාධ්‍යායතන දිරිමත් කළහ. ඉන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්විණි.

මෙහිදී සිය අදහස් පළ කළ ආචාර්ය කොහොන මැතිතුමා,  “අද අප උත්සාහ කරන්නේ චීනය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යි. මෙම වැඩසටහන සඳහා ඔබ ලබා දී ඇති උද්‍යෝගිමත් සහභාගීත්වයෙන් පසක් වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි ඔබ දක්වන උනන්දුව යි. කණ්ඩායම් සංචාර සඳහා හඳුනාගෙන ඇති රටවල්වල නියමු කණ්ඩායමට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම පිළිබඳව අපි චීන රජයට විශේෂාකාරයෙන් ස්තූතිවන්ත වෙමු. අපගේ චීන මිතුරන් සාදරයෙන් පිළිගැනීමේ උද්‍යෝගයෙන් අපි පසු වන්නෙමු”, යනුවෙන් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව යනු "නැරඹිය යුතුම" සංචාරක ගමනාන්තයක් ලෙස දීර්ඝ කාලයක සිට හඳුනාගෙන ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. 13 වැනි සියවසේ ටැන්ජියර් හි විසූ සංචාරකයෙකු වූ ඉබන් බතූතා, ශ්‍රී ලංකාව යනු පෘථිවියේ ඇති වඩාත්ම පියකරු දූපත බවත් එය පාරාදීසයේ සිට ගව් හතළිහක දුරින් පිහිටා ඇති බවත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව "නැරඹිය යුතුම" විශිෂ්ඨ  ගමනාන්තයක් ලෙස මෑතක දී, ලෝන්ලි ප්ලැනට් සංචාරක මාර්ගෝපදේශය  විසින් හඳුන්වා දෙන ලදී. සැතපුම් ගණනක් දක්වා ව්‍යාප්තව ඇති පවිත්‍ර, රන්වන් වෙරළ තීර, තල්මසුන් සහ ඩොල්ෆින් විශේෂ රැසකට නිවහන වන උණුසුම් මුහුද, අලි ඇතුන් සරන ඝන වනාන්තර, අපූරු රස මවන ලංකා තේවලින් වැසී ගිය මිහිදුමෙන් වට වුණු කඳු, රාජකීයයන්ගේ තේරීම වන ලංකා නිල් මැණික් පිළිබඳ විස්තරාත්මක හැඳින්වීමක් ද තානාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.  බෞද්ධාගමික පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා සැදැහැවත් චීන භික්ෂූන් වහන්සේලා සහ වෙළඳුන් වසර දහස් ගණනක් මුළුල්ලේ සංචාරයේ නිරත වූ රට වන්නේ ශ්‍රී ලංකාව බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අමාත්‍ය උපදේශිකා නාලිකා කොඩිකාර මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය තාක්ෂණික අවශ්‍යතා විධිමත් කර ඇති ආකාරය පිළිබඳව සවිස්තරාත්මක අයුරින් පැහැදිලි කළා ය. කොවිඩ්-19 වසංගතයට පෙර තමන් සංවිධානය කළ සංචාරක කණ්ඩායම් ලැබූ අත්දැකීම් පිළිබඳව පැහැදිලි කළ ස්ප්‍රින්ග් ට්‍රැවල්ස් හි සභාපති යැන්ග් යැන්ග් මහතා, චීන සංචාරකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

CITS බීජිං, CAISSA ට්‍රැවල්, ස්ප්‍රින්ග් ට්‍රැවල්ස්, චීන සංචාරක නෞකා සහ යාත්‍රා කර්මාන්ත සංවර්ධන සංගමය, බීජිං හි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, චීන කලා සංගමය, ලෝක සංචාරක නගර සම්මේලනය, ටුවර් ට්‍රැවල්, ෂොන්ජී ට්‍රැවල් සහ CZK සමූහයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූ සංචාරක ක්‍රියාකරුවන් පිරිසට ඇතුළත් වූහ.

චයිනා ජෙනරල් ඇසෝසියේෂන් වාණිජ්‍ය වෙළඳ පුවත්පත, ශින්හුවා පුවත් ආයතනය, ටියැන්මු නිවුස්, සෝහු නිවුස්,  සවුත් චයිනා මෝනින්ග් පෝස්ට්, Ifeng.com, හයිවායි නිවුස්, ලක්ෂරි ටයිම්ස්, බීජිං ට්‍රේඩින් පුවත්පත, ඩිප්ලොමැට් සඟරාව, හෝම් ඇන්ඩ් අබ්‍රෝඩ් නිවුස්, CGTN රේඩියෝ, චයිනා බිස්නස් ඩේලි, චයිනා ට්‍රේඩ් නිවුස්, චයිනා නෙට්වර්ක්, ග්ලෝබල් නෙට්වර්ක්, වොයිස් ඔෆ් ඩිප්ලොමැසි, ග්ලෝබල් ටයිම්ස් සහ CCTV-4 යන මාධ්‍යායතනවල නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ලයන් බියර්, ස්ප්‍රින්ග් ට්‍රැවල්ස්, බීජිං හි සියවස් ගණනක් පැරණි චියැන්මන් සමාගම, මූවින්ග් ප්‍රොවින්ස් තාක්ෂණ සමූහය, හොංකොං තායිවාන් ගුවන් සමාගම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රසම්පාදන සඳහා වන චීන සංගමය මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සැපයූ පිරිසට ඇතුළත් විය.

චීන සංචාරක නෞකා සහ යාත්‍රා කර්මාන්තයේ සාමාන්‍යාධිකාරීතුමා, මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ආයතනය, නැන්ජිං කලා සංගමය සහ ගොල්ෆින් සමූහය ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීම පිළිබඳ සවිස්තරාත්මක විමසීම් යොමු කළහ.

ලංකා තේ, ලයන් බීර සහ ප්‍රණීත ආහාර සහභාගී වූ පිරිසට පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2023 මාර්තු 07 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close