විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නවදිල්ලියේ පැවති රයිසිනා සංවාදයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඔබ්සර්වර් පර්යේෂණ පදනම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව, 2023 මාර්තු 02-04 යන දිනවල සංවිධානය කරන ලද රයිසිනා සංවාදය-2023 හෙවත් භූ දේශපාලනය සහ භූ-ආර්ථිකය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා නවදිල්ලියේ නිල සංචාරයක නිරත විය. මෙම සංවාදයේ සමාරම්භක සැසිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි මැතිනිය විසින් ආරම්භ කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙම සංවාදයට සමගාමීව, එනම් මාර්තු 04 වැනි දින, නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය. විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය මෙන්ම රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් අමාත්‍ය ජයශංකර් මැතිතුමා දැනුම්වත් කළේ ය. තවද, දැනට පවතින ආර්ථික සහයෝගීතාවයේ වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනය කළ අමාත්‍යවරු දෙපළ, ඉදිරියේ දී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යොමු කරන ලද ඇරයුම පිළිබඳව ද අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුෂෝලු, දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර්, බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍ය මෝරෝ වියෙයිරා සහ ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අග්‍රාමත්‍ය සහ විදේශ සහ යුරෝපීය කටයුතු අමාත්‍ය ටන්යා ෆැජෝන් යන මහත්ම මහත්මීහු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය. ඉහත රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්නා සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණ විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නවදිල්ලිය පදනම් කරගත් මාධ්‍ය සමඟ ද අන්තර් ක්‍රියා කිහිපයක් පැවැත්වී ය.

මාර්තු 03 වැනි දින, ‘බෙදුණු ලොව සුවපත් කිරීම’ යන තේමාව යටතේ  පැවති “රයිසිනා යොවුන් සාමාජිකත්වය සමඟ දිවා භෝජන සංවාදය”  (“Lunch Conversation with Raisina Young Fellows”) නමැති සාකච්ඡාවට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, ධ්‍රැවීකරණයට අදාළව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ එම ක්‍රියාවලිය තුළ නායකයන් සතු භූමිකාව පිළිබඳව සංවාදයක නිරත විය. අමාත්‍යවරයා ඉන් අනතුරුව ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති වන සන්ජෝයි ජෝෂි මහතා සමඟ එක්ව, “රයිසිනා අයිඩියාස් පොඩ්” හි දී සංවාදයක නිරත විය. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, බලාපොරොත්තුවේ බයිට්: තාක්‍ෂණය ඔස්සේ ප්‍රජාවන් ඉහළට ඔසවා තැබිය හැක්කේ කෙසේද?” (“Bytes of Promise: How Can Technology Lift Communities”යන පූර්ණ මණ්ඩල සාකච්ඡාවේ සාමාජිකයකු වශයෙන් ද සහභාගී විය. අමාත්‍යවරයා මෙහිදී, ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමේ දී  යටිතල පහසුකම් සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මතු වන බාධක, කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම, ඩිජිටල්කරණය තුළින් ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි ආකාරය සහ ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා තාක්ෂණය උපයෝගී කරගැනීම ඔස්සේ වඩාත් හොඳ ප්‍රතිපත්ති සහ ඉඩප්‍රස්ථාවන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දැක්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 06 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close