ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඉහළ දේශපාලනික අභිලාෂයන්  නිර්මාණය කිරීමේ අරමුණින් කීර්තිමත් පුද්ගලයන් පිරිසකගෙන් සුසැදි කණ්ඩායමක් පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කරයි

ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඉහළ දේශපාලනික අභිලාෂයන්  නිර්මාණය කිරීමේ අරමුණින් කීර්තිමත් පුද්ගලයන් පිරිසකගෙන් සුසැදි කණ්ඩායමක් පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කරයි

ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍යයන් අතර පවතින ජාත්‍යන්තර දැනුම්වත්භාවය තවදුරටත් පුළුල් කිරීම සහ ඉහළ මට්ටමේ දේශපාලනික අභිලාෂයක් නිර්මාණය කිරීමට සහය වීම සඳහා කීර්තිමත් පුද්ගලයන් පිරිසකගෙන් සුසැදි කණ්ඩායමක් පිහිටුවන ලෙස,  මෑතකදී නවදිල්ලියේ පැවති තුන් වැනි  No Money For Terror (NMFT) අමාත්‍ය සමුළුවේ දී ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලදී.

මෙම අමාත්‍ය සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, සෙනසුරාදා දින (19) සමුළුව හමුවේ සිදු කළ ප්‍රකාශය මඟින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. ප්‍රති-ත්‍රස්ත මූල්‍යකරණය පිළිබඳ පැවති තුන්වැනි No Money For Terror අමාත්‍ය සමුළුව 2022 නොවැම්බර් 18-19 යන දිනවල ඉන්දීය රජයේ සත්කාරකත්වය යටතේ නවදිල්ලි නුවර පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් සිකුරාදා දින ආරම්භ කරන ලද මෙම සමුළුවට රටවල් අනූ තුනක සහ බහුපාර්ශ්වික සංවිධානවල නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

ත්‍රස්තවාදයේ ගෝලීය ප්‍රවණතා සහ ත්‍රස්ත මූල්‍යකරණය, ත්‍රස්තවාදය සඳහා විධිමත් හා අවිධිමත් අරමුදල් භාවිතා කිරීම, නැගී එන තාක්ෂණයන් සහ ත්‍රස්ත මූල්‍යකරණය මෙන්ම ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීමේ දී එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගීතාව යන කරුණු මෙම සමුළුව අතරතුර පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රකාශය ඉදිරිපත් කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා,  ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීමේ දී එල්ල වන බහුවිධ අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය වන  ජාත්‍යන්තර සහයෝගීතාවට අදාළ වැදගත්ම අංගය වන්නේ සාමාජික රටවල දේශපාලනික අභිලාෂයන් බව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.  මෙය නොසලකා හැරීමේ අන්තරාය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා පැවැත්වෙන “No Money for Terror” සමුළුවේ අරමුණ ප්‍රශංසනීය වුවද, එම සමුළුවේ වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට යාන්ත්‍රණයක් තිබිය යුතු බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

මෙම සන්දර්භය තුළ, ඉහළ දේශපාලනික අභිලාෂයක් නිර්මාණය කිරීමට සහ ත්‍රස්ත මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍යයන් අතර පවතින ජාත්‍යන්තර දැනුම්වත්භාවය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් සාමාජික රටවල් අතරින් තෝරාගත් කීර්තිමත් පුද්ගලයින් පිරිසකගෙන් සුසැදි කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරන ලෙස මෙම සමුළුවේ වත්මන් සභාපතිත්වය දරන ඉන්දියාවට මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා යෝජනා කළේ ය.

No Money For Terror නමැති අමාත්‍ය සමුළුවේ පළමු සමුළුව 2018 වසරේ පැරීසියේ පැවති අතර, එහි දෙවැනි සමුළුව 2019 වසරේ මෙල්බර්න් නුවර දී පැවැත්විණි. 3 වැනි NMFT සමුළුව පවත්වනු ලැබුවේ මින් පෙර පැවති සමුළු දෙකේ දී ආරම්භ කරන ලද සාමූහික මැදිහත්වීම සහ ඒකාබද්ධ ප්‍රවේශයක ප්‍රගතිශීලී න්‍යාය පත්‍රය මත කටයුතු කරමින් ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

 

2022 නොවැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close