තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා ටර්ක්මෙනිස්තානයේ මෙජ්ලිසයේ සභාපති ගුල්ෂාට් මාමෙඩෝවා මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා ටර්ක්මෙනිස්තානයේ මෙජ්ලිසයේ සභාපති ගුල්ෂාට් මාමෙඩෝවා මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ටර්ක්මෙනිස්තානයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් වූ තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු මැතිතුමා, 2022 දෙසැම්බර් 08 වැනි දින අශ්ගාබාට් හි පිහිටි මෙජ්ලිස් සංකීර්ණයේ දී (පාර්ලිමේන්තුව) එහි සභාපතිනිය වන (කථානායක) ගුල්ෂාට් මාමෙඩෝවා මැතිනිය වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වී ය.

ටර්ක්මෙනිස්තාන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපෝන්සු මැතිතුමා පිළිගත් මෙජ්ලිසයේ සභාපති ගුල්ෂාට් මාමෙඩෝවා මැතිනිය, තානාපතිනරයාට සුබ පැතූ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තානාපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේ ය. ටර්ක්මෙනිස්තානයේ ජනාධිපති සෙර්දාර් බෙර්දිමුහමෙදෝව් මැතිතුමා සහ ටර්ක්මෙනිස්තාන ජනතාව වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ශ්‍රී ලංකාවාසීන්ගේ සුබ පැතුම් පළ කළ තානාපතිවරයා, විශේෂයෙන් වෙළෙඳාම, ආයෝජන, බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යවස්ථාදායකය යන අංශ සම්බන්ධයෙන් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවට සහතික විය.

ටර්ක්මෙනිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වේපා හජියෙව් මැතිතුමා සමඟ ටර්ක්මෙනිස්තානයේ විදේශ කටයුතු කාර්යාලයේ පැවති සාකච්ඡාව අතරතුර අදහස් දැක්වූ තානාපති අපෝන්සු මැතිතුමා, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පැවැත්වීම, ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කරගැනීම, අන්තර් පාර්ලිමේන්තු අන්තර්ක්‍රියා සිදු කිරීම, කෘෂිකර්මාන්තය, රෙදිපිළි කර්මාන්ත, අධ්‍යාපනය, සංස්කෘතික කටයුතු සහ කලාව, සංචාරක ව්‍යාපාරය, පරිසරය සහ නගර සැලසුම්කරණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සඳහා ටර්ක්මෙනිස්තාන රජයේ සහය ලබා දෙන බවට විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා තානාපති අපෝන්සු මැතිතුමා හමුවේ සහතික විය. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී ටර්ක්මෙනිස්තානයට මෙරට තුළ ඉහළ මට්ටමේ සංචාරයක නිරත වීම සඳහා ද යෝජනා ඉදිරිපත් කෙරිණි.

ටර්ක්මෙනිස්තානයේ බලශක්ති අමාත්‍යවරයා, වෙළඳ සහ විදේශ ආර්ථික සබඳතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ද හමු වූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අතර ද්වි-මාර්ගික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීමේ වැදගත්කම සහ බලශක්තිය, බලශක්ති සහ රසායනික ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් පළ කළේ ය. ඉදිරියේ දී පැවැත්විය හැකි ඉහළ මට්ටමේ සංචාරයක් අතරතුර මෙම කරුණු සලකා බැලීමට සිය එකඟත්වය පළ කළ ටර්ක්මෙනිස්තානය, ඊට පෙර දෙරටේ ව්‍යාපාරික මණ්ඩල දෙක අතර අථත්‍ය රැස්වීමක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. කර්මාන්ත, වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ ඒ ආශ්‍රිත වෙනත් සහයෝගීතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා සබඳතා පුළුල් කිරීමේ අරමුණින් ටර්ක්මෙනිස්තානයේ කර්මාන්තකරුවන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සංගමයේ ප්‍රධානියා සමඟ ද සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවයේ I ශ්‍රේණියේ නිලධාරියකු වන තානාපති අපෝන්සු මැතිතුමා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ සෞදි අරාබියේ, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල වැඩබලන මහ කොමසාරිස්වරයා ලෙස සේවය කර ඇත. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය සහ මූල්‍යකරණය පිළිබඳ උපාධිධාරියකු වේ. තවද එතුමා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ඉන්දියාවේ අන්නමලෙයි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එතුමා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 දෙසැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close