​​සාමූහික ප්‍රයත්නයක් වන සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය එසවීම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වේ

​​සාමූහික ප්‍රයත්නයක් වන සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය එසවීම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වේ

පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් ඔසවනු ලබන  සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා විසින් 2023 මාර්තු 13 වැනි දින ඔසවන ලදී.  පොදු රාජ්‍ය මණ්ඩලයේ හවුල් වටිනාකම් සහ මූලධර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම මෙමඟින් විදහා දැක්විණි..

සාමය සඳහා වූ සාමූහික කැපවීමක් ලෙස, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රාජ්‍යයන් විසින් සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය ඔසවනු ලැබීම, “තිරසර සහ සාමකාමී පොදු අනාගතයක් ගොඩනැගීම” යන තේමාවට අනුකූලව පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය විසින් අරඹන ලද මුලපිරීමකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10ක් සපිරීමේ සංවත්සරය මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනයේ දී සනිටුහන් කෙරේ.

මෙහිදී සිය අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව මෙම ක්‍රියාදාමය අගයන බවත්, ලොව පුරා සාමය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සංවිධානය දරන ප්‍රයත්න කෙරෙහි  සිය ප්‍රසාදය පළ කරන බවත් සඳහන් කළේ ය. ආරම්භයේ දී සිය අදහස් පළ කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, වසර ගණනාවක් මුළුල්ලේ යුධ ගැටුම්වලින් පීඩා විඳි ශ්‍රී ලංකාවට මෙම මුලපිරීම අදාළ වන ආකාරය පිළිබඳව අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව 2023 වසර ප්‍රතිසන්ධානය, යථා තත්ත්වයට පත්වීම සහ ජාතික සමගිය උදා කරගැනීමට හැකිවන වසරක් ලෙස හඳුනාගෙන ඇති බවද සඳහන් කළා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close