ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සිය සමාලෝචනය අවසන් කරයි

ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සිය සමාලෝචනය අවසන් කරයි

විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය සමාලෝචනය අද දින ජිනීවා නුවර දී අවසන් කළේ ය.

ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා වන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් ඉහත සැසියට පෙර පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශයක් මඟින් එම සමාලෝචනය ඉදිරිපත් කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 1 වැනි දින

......................................

විශ්වීය වාරික සමාලෝචනයේ සිව්වැනි චක්‍රය සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සමාලෝචනය පිළිබඳව ගරු විදේශ කටයුතු අමාත්‍යරයා විසින් ඉදිරිපත් කරන ලද පූර්ව පටිගත වීඩියෝ ප්‍රකාශය

2023 පෙබරවාරි 1 වැනි දින, ජිනීවා

සභාපතිතුමනි,

ගරු අමාත්‍යවරුනි,

සම්භාවනීය නියෝජිතයනි,

විශ්වීය වාරික සමාලෝචනයේ සිව්වැනි චක්‍රය යටතේ ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ සමාලෝචනයට ඔබ සැම සාදරයෙන් පිළිගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සළකමි.

2023 වසර ගෝලීය මානව හිමිකම් සංස්ථිතිය සඳහා වැදගත් වන සන්ධිස්ථානයකි. අප මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය සමරමින් සිටින අතර වියානා ප්‍රකාශනයේ සහ ක්‍රියාකාරී වැඩසටහනේ 30 වැනි සංවත්සරය ද සමරන්නෙමු. විශ්වීය වාරික සමාලෝචන  යාන්ත්‍රණය ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණයේ දීර්ඝ සමාලෝචන ක්‍රියාවලියක කූටප්‍රාප්තිය සනිටුහන් කරයි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා දේශීය වශයෙන් ලබා ඇති ප්‍රගතිය කිසිදු භේදයකින් තොරව එකිනෙකා අතර ස්වේච්ඡාවෙන් බෙදාහදා ගැනීමට මෙම යාන්ත්‍රණය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවලට සමාන අවස්ථාවක් ලබා දෙන බැවින් එය අපි අගය කරන්නෙමු. මානව හිමිකම් පිළිබඳ අභිලාෂයන් ඉහළ නැංවීම සඳහා වන ප්‍රයත්නයන් තුළ දැකගත හැකි පක්ෂග්‍රාහී බව සහ දේශපාලනීකරණය අවම කිරීමට මෙම සමාලෝචන ක්‍රියාවලිය දායක වී ඇත. එය අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්, ජාතික ස්වාධීන ආයතන, සිවිල් සමාජය සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ මානව හිමිකම් හා සබැඳි වර්ධනයන් පිළිබඳව සාධනීය මැදිහත්වීමක් සිදු කරයි.

සභාපතිතුමනි,

විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ ඵලදායී අන්තර් ක්‍රියාකාරිත්වයක් පැවැත්වීම සඳහා අසීරු තත්ත්වයන් යටතේ වුවද ශ්‍රී ලංකාව පුළුල් ලෙස සූදානම් විය. මා සිදු කරන ආරම්භක ප්‍රකාශයෙන් පසුව, ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන්ගේ සහය ද ඇතිව අපගේ සමාලෝචනයට නායකත්වය දෙනු ඇත. අද දින සමාලෝචනය සඳහා සූදානම් වීමට සම්බන්ධ වී සිටින රජයේ පාර්ශ්වකරුවන් ගණනාවක් මෙම නියෝජිත පිරිසට සහය දැක්වීම සඳහා කොළඹ සිට අන්තර්ජාලය හරහා සම්බන්ධ වේ. මෙම පුළුල් සූදානම, විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප දක්වන සුවිශේෂී බැඳීම මෙන්ම මීට අදාළව මෙම ක්‍රියාකාරී කණ්ඩායම ලබා දෙන උපදෙස් පිළිඹිබු කරයි.

4 වැනි චක්‍රය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව පසුගිය වසර 4 ½ ක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය සහ මීට පෙර චක්‍රය තුළ පිළිගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ දී මුහුණ දුන් අභියෝග ද ඇතුළත් කොට සකසන ලදී.  මෙම ක්‍රියාවලියේ උපරිම විනිවිදභාවය පවත්වාගැනීම සඳහා, මෙම නිර්දේශ සිංහල සහ දමිළ යන භාෂාවලින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, අදාළ අංශවල ක්‍රියාකාරී සැලසුම් හරහා එය ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ රජයේ පාර්ශ්වකරුවන් සමඟ ද එය බෙදා ගන්නා ලදී. ලැබූ ප්‍රගතියේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා මෙම පාර්ශ්වකරුවන් සමඟ උපදේශන වට කිහිපයක් පවත්වන ලදී. මීට පෙර අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සහ දැනට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මා, මෙම පසුබිම තුළ  සිවිල් සමාජය ඇතුළු මෙම පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කරමි.

රාජ්‍ය අමාත්‍යංශ සහ ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු දේශීය පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වූ පුළුල් උපදේශන සහ අන්තර්ග්‍රහණ ක්‍රියාවලියක් හරහා මෙම ජාතික වාර්තාව සකස් කරන ලදී. තවද, මෙම කර්තව්‍ය සඳහා දායක වූ සියලුම දෙනාට මගේ කෘතඥතාව පුද කිරීමට කැමැත්තෙමි.

සභාපතිතුමනි, විශ්වීය වාරික සමාලෝචන ලේකම් කාර්යාලයේ සියල්ලෙනි, මෙම කර්තව්‍ය සම්බන්ධයෙන් මාගේ දූත පිරිසට ලබාදුන් තාක්ෂණික සහය පිළිබඳව මාගේ කෘතඥතාව ඔබ වෙත පළ කරන්නෙමි. එසේම, ඇල්ජීරියාව, කටාර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය යන රාජ්‍යයන් ත්‍රිත්වය ලබා දුන් සහයෝගය මෙන්ම  අද දින දේශන පවත්වන විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් අපි අපගේ ගැඹුරු ප්‍රණාමය පුද කරන්නෙමු.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මානව හිමිකම් ලේඛන 16 හි රාජ්‍ය පාර්ශ්වකරුවකු වන අතර, ගිවිසුම් ආයතන විසින් පවත්වන ලද අදාළ සමාලෝචන සඳහා ද අප ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කොට ඇත්තෙමු. එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි පිළිබඳ බලතල දරන සියලුම තේමාත්මක නිලධරයන් වෙත අපි ස්ථාවර ආරාධනා ලබා දී ඇති අතර ඔවුන්ගේ මෙරට සංචාර සඳහා ද පහසුකම් සලසා ඇත. මෙම අයිතිවාසිකම් භේදයකින් තොරව සහ ප්‍රගතිශීලී  අයුරින් දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්  අපගේ ජනතාව සවිබල ගන්වා ඇති අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ද සුරක්ෂිත වී ඇත. මෙම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති අතර අපගේ අධිකරණ තුළද පිළිගැනීමට පාත්‍ර වී ඇත. සුපරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වන මාර්ගගත සහ මාර්ගගත නොවන ජනමාධ්‍ය  රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව විවේචනාත්මක සෝදිසි කිරීම් සිදු කරන අතර, ප්‍රජා මට්ටමේ සහ ජාතික මට්ටමේ සංවර්ධන හා ප්‍රතිසන්ධාන ප්‍රයත්න ඉහළ නැංවීම සඳහා විචිත්‍රවත් සහ ශක්තිමත් සිවිල් සමාජය සිය අඛණ්ඩ දායකත්වය ලබා දෙයි. සියලුම පුරවැසියන්ට සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා නොමිලේ ප්‍රවේශ වීමේ හැකියාව සහතික කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ දිළිඳු ජනතාව සඳහා ලබා දෙන සමාජ ආරක්ෂණය ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට දායක වී ඇත. ඉතා අසීරු දේශීය හා ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා අපි අඛණ්ඩව උත්සාහ කරන්නෙමු.

2017 වසරේ දී දක්වන ලද විශ්වීය වාරික සමාලෝචන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය යුත්තේ එතැන් සිට ශ්‍රී ලංකාවට බලපෑ තීරණාත්මක ජාතික සහ ජාත්‍යන්තර ප්‍රවණතා ඇතුළත් පසුබිම කෙරෙහි අවධානය යොමු කරමිනි. සමාලෝචිත කාලසීමාව තුළ, එනම් 2017 සිට 2022 දක්වා වූ කාලය තුළ 2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ දැඩි ආර්ථික හා සමාජීය අභියෝග එල්ල කළ යුක්රේන යුද්ධයේ බලපෑම් ඇතුළු පෙර නොවූ විරූ ආකාරයේ අභියෝගවලට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ය. මෑත කාලයේ දී අප මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදය ලෙස 2022 වසර හැඳින්වීම අතිශයෝක්තියක් නොවන බව ජිනීවා හි දී මා මෑත කාලීනව සිදු කළ  මැදිහත්වීම්වල දී අවධාරණය කළෙමි.

දේශපාලනික බල සංක්‍රාන්තිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාවලීන් දැඩි ලෙස පිළිපැදීම සහ අපගේ පාර්ලිමේන්තු සහ රාජ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව පවත්වාගෙන යාම යනාදිය පුළුල් දේශපාලනික, සමාජීය හා ආර්ථික පෙරමුණු සම්බන්ධයෙන් එතැන් සිට අප ලැබූ පැහැදිලි ප්‍රගතිය විදහා දක්වයි. මෑත කාලීනව හටගත් සමාජ අසහනය සහ ජනතාව ඉස්මතු  කළ අභිලාෂයන්ට අනුකූලව, රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම, පාර්ලිමේන්තුව බලගැන්වීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඇත.  මීට අමතරව, මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත පනවා ඇති අතර, දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දියුණු අදියරකට ගෙන ඒමට ද කටයුතු කර ඇත.

ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ගත් කල, මෑත කාලීනව හඳුන්වා දුන් ඇතැම් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව රජය දැඩි ලෙස දැනුවත්ව සිටින අතර ඒ පිළිබඳව සංවේදී වේ. කෙසේ වුවද මෙම ප්‍රතිසංස්කරණ,  දිගුකාලීනව ප්‍රමාද වූ අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වන අතර, දිගු කාලීන ආර්ථික තිරසාරභාවය සාක්ෂාත් කරගැනීම සඳහා එම ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. දැඩි මූල්‍ය පාලනය සහ අධීක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඇතුළුව ප්‍රමුඛතා පදනම මත කටයුතු කරමින් රජය මෙම ගැටලුවලට ආමන්ත්‍රණය කරයි. මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන විධිවිධාන ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මීට ඇතුළත් වේ. පොහොර, ඉන්ධන, ඖෂධ, බලශක්තිය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇත. වසංගතය සහ සමාජ විරෝධතා හේතුවෙන් හටගත් දිගුකාලීන බාධා අවසන් වීමෙන් අනතුරුව සාමාන්‍ය මහජන, සිවිල් සහ පරිපාලන කටයුතු යළි ආරම්භ වී ඇත. ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව පාලනය කර ඇත.

වර්තමානයේ පනවා ඇති  කප්පාදු කිරීම් සහ ආර්ථික ස්ථායිකරණ පියවර හේතුවෙන් ජනතාවට දැඩි දුෂ්කරතා එල්ල වී ඇත. එබැවින්, අහිතකර සමාජ-ආර්ථික බලපෑම්වලට විසඳුම් ලබා දීම සඳහා ඉහළම ප්‍රමුඛතාව ලබා දීමට රජය බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. නිවැරදි දත්ත හරහා ප්‍රතිලාභීන් වඩාත් හොඳින් ඉලක්ක කරගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් 2023 වසර සඳහා විශේෂ අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත. ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛතාව යොමු කොට ඇත. මේ සම්බන්ධයෙන් නව නීති අපේක්ෂා කෙරේ.

සභාපතිතුමනි,

2023 වසර, අපගේ 75 වැනි නිදහස් සංවත්සරය සහ විශ්ව ප්‍රකාශනය සම්මත කිරීම පිළිබඳ 75 වැනි සංවත්සරයට සමගාමීව යෙදෙන බැවින්, එය සමාජ-ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව සහ ප්‍රකෘතිමත්භාවය සාක්ෂාත් කරගැනීමට ඉවහල් වන  වසරක් වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.අපගේ අභියෝග පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් ලබා ගැනීම සඳහා ඉවහල් වන උත්ප්‍රේරකයක් ලෙස අපි මෙම අවස්ථාව භාවිතා කරන්නෙමු. අතීතයෙන් ඉගෙන ගැනීමත්, වඩාත් මැනවින් සහ ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා ඉදිරියට යාමත් එකසේ වැදගත් වන බව අපි විශ්වාස කරන්නෙමු.

ජනවාර්ගික සංහිඳියාව ශක්තිමත් කිරීම, යහපත් ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන යාම, යථා තත්ත්වයට පත්වීම සහ අනාගත වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සැකසීම අපගේ අධිෂ්ඨානය වේ. අපගේ මෙම ප්‍රයත්නය සඳහා අප හා එක්වන ලෙස එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරන්නෙමු.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සිය විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලිය යටතේ වන මීළඟ කැපවීම් භාරගැනීමට සූදානම් වන මෙම ඓතිහාසික සන්ධිස්ථානයේ දී, අපගේ අරමුණ වන්නේ ජාතික සමගිය සහ ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ පියවර ගැනීම යි.

මෙම පසුබිම තුළ, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළුව කඩිනමින් ආමන්ත්‍රණය කළ යුතු පුළුල් පරාසයක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරන්නාවූ නව ජාතික ආරක්‍ෂක නීති සම්පාදන ක්‍රියාවලියක කටයුතු අවසන් කෙරෙමින් පවතී. ජාතික අවශ්‍යතා මත කටයුතු කරමින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන අයුරින් කටයුතු කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් ස්ථාපිත කෙරේ. තවද, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට මෙන්ම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ද කඩිනම් සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. එමෙන්ම, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ. මෙම ක්‍රියාදාමයන් හි ඵලදායි ප්‍රගතිය සහතික කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති අතර අතුරුදන් වූවන්, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්, ඉඩම් සහ වන්දි ලබාදීම් ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටද සාකච්ඡා පවත්වා ඇත.

මෙම ප්‍රයත්න සඳහා ඉවහල් වන දේශපාලන සහයෝගය ලබා ගැනීම සහ සම්මුතිය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් දමිළ හා මුස්ලිම් පක්ෂ නියෝජනය කරන  මන්ත්‍රීවරුන් ඇතුළු සර්ව පාක්ෂික දේශපාලන නායකයන්ගේ සමුළුවක් කැඳවන ලදී. එය දෙසැම්බර් මස සිට අවස්ථා දෙකක දී පවත්වන ලදී.

රජයේ කඩිනම් ප්‍රමුඛතාව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වේ. විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලිය සඳහා රජය විදහා දක්වන කැපවීම තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අප සතු කැපවීම නිරූපණය කෙරේ.

සභාපතිතුමනි,

මෙම පසුබිම තුළ, සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් ශ්‍රී ලංකාව ලබා දෙන ස්වේච්ඡා ප්‍රතිඥාවන් සඳහා ඔබ ලබා දෙන යෝජනා සාදරයෙන් පිළිගන්නා  අතරතුර, අද උදෑසන පැවැත්වෙන මෙම සැසියේ දී විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ නිර්මාණාත්මක මැදිහත්වීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. මෙම සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර කිහිපයට අදාළ පිළිගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ක්‍රමවේද සලකා බැලීමේ අරමුණින්, එම ක්‍රියාවලියේ ප්‍රතිඵල අදාළ සියලුම දේශීය පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීමට ද අපි උනන්දු වන්නෙමු.

ස්තුතියි, සභාපතිතුමනි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close