ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සමාලෝචනය කෙරේ

ශ්‍රී ලංකාව විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ සමාලෝචනය කෙරේ

විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය යටතේ වන ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව, 2023 පෙබරවාරි 1 වැනි බදාදා දින විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවර පවත්වනු ලබන 42 වැනි සැසිවාරය අතරතුර ඉදිරිපත් කරනු ලැබේ.

විශ්වීය වාරික සමාලෝචනය (UPR) 2006 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් පිහිටුවන ලදී. එය රාජ්‍යයන් විසින් මෙහෙයවනු ලබන ස්වේච්ඡා සමාලෝචන ක්‍රියාවලියක් වන අතර, එමඟින් එක් එක් රාජ්‍යයට එම රාජ්‍යයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, මානව හිමිකම් සම්බන්ධයෙන් රාජ්‍ය සතු බැඳීම් ඉටු කිරීම සඳහා ජාතික මට්ටමින් ගෙන ඇති පියවර පිළිබඳව ප්‍රකාශ කිරීමටත් අවස්ථාව සැලසේ.

විශ්වීය වාරික සමාලෝචනයේ දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමස්ත සාමාජික රටවල් 193 කිසිදු තේරීමක් හෝ වෙනස්කමකින් තොරව සමාලෝචනය කෙරේ. වාරිකව සිදු වන මෙම ක්‍රියාවලිය සෑම වසර හතරහමාරකට වරක් පුනරාවර්තනය කෙරේ. සෑම වසරකම සැසි 3 ක් පවත්වනු ලබන අතර එක් සැසියක දී රටවල් 14 ක් සමාලෝචනය කෙරේ. එබැවින්, සෑම වසර 4 කට වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෑම සාමාජික රාජ්‍යයක්ම සමාලෝචනය කෙරේ.

ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් 2008 (පළමු), 2012 (දෙවැනි) සහ 2017 (තෙවැනි) යන වසරවල පැවති විශ්වීය වාරික සමාලෝචන චක්‍ර 3 සඳහා සහභාගී වී ඇත.

විශ්වීය වාරික සමාලෝචනයේ 4 වැනි චක්‍රය 2022 නොවැම්බර් මස ආරම්භ වූ අතර, ශ්‍රී ලංකාවේ සිව්වැනි විශ්වීය වාරික සමාලෝචනය 2023 පෙබරවාරි 01 වැනි දින ජිනීවා නුවර පැවැත්වෙන විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වන සැසිය අතරතුර සමාලෝචනයට ලක්වීමට නියමිත ය.  ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වැනි සැසිය අතරතුර, එනම් 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 3 දක්වා වූ කාලය තුළ විශ්වීය වාරික සමාලෝචනයේ 4 වැනි චක්‍රය යටතේ ආර්ජන්ටිනාව, බෙනින්, චෙචියා, ගැබොන්, ඝානාව, ග්වාතමාලාව, ජපානය, පාකිස්තානය, පේරු, කොරියානු ජනරජය, ස්විට්සර්ලන්තය සහ සැම්බියාව යන රටවල් සමාලෝචනය කරනු ලැබේ.

විශ්වීය වාරික සමාලෝචනයේ 4 වැනි චක්‍රය  යටතේ වන ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව 2022 දෙසැම්බර් 22 වැනි දින ඉදිරිපත් කරන ලදී. 2017 නොවැම්බර් මස අවසන් වරට පැවති විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලියේ පටන් ශ්‍රී ලංකාව විසින් ස්වේච්ඡාවෙන් භාරගනු ලැබූ මානව හිමිකම් හා සබැඳි වගකීම් ඉටු කිරීම සඳහා ගනු ලැබූ පියවර පිළිබඳ ස්වයං තක්සේරුවක් එමඟින් සපයනු ලැබේ. මෙම ජාතික වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. ඒ සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව https://www.ohchr.org/en/hr-bodies/upr/lk-index යන වෙබ් අඩවියේ පළ කොට ඇත.

මෙම වසරේ දී පවත්වනු ලබන මෙරට සමාලෝචනය දෙමුහුන් ආකෘතියක් යටතේ සිදු කෙරේ. සමාලෝචන ක්‍රියාවලිය සිදු කෙරෙන කාලය තුළ යෙදෙන 75 වැනි නිදහස් සංවත්සරය හේතුවෙන් සමාලෝචනයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දෙන  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාට ඊට භෞතික වශයෙන් සහභාගී වීමට නොහැකි වන බැවින්, සැසියට පෙර පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශයක් මගින් මෙරට සමාලෝචනය ඉදිරිපත් කරනු ලැබේ. මෙම අවස්ථාවට භෞතික වශයෙන් සහභාගී වන දූත පිරිස ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මැතිනිය විසින් මෙහෙයවනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට ඇතුළත් වෙති.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close