ශ්‍රී ලංකාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වැනි විශ්වීය වාරික සමාලෝචනය අවසන් කරයි 

ශ්‍රී ලංකාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වැනි විශ්වීය වාරික සමාලෝචනය අවසන් කරයි 

පෙබරවාරි 1 වැනි බදාදා දින ජිනීවා නුවර පැවති විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වැනි සැසියේ දී ශ්‍රී ලංකාව සිය විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය අවසන් කළේ ය. ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව, රාජ්‍ය අමාත්‍යංශ සහ නියෝජිතායතනවල උපදේශන ඇතුළත් අන්තර්ග්‍රහණීය හා පුළුල් ක්‍රියාවලියක් හරහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සකස් කරන ලදී. මේ සඳහා සිවිල් සමාජ සංවිධානවල සහ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස් ද විමසන ලදී.

විශ්වීය වාරික සමාලෝචනය,  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සමාලෝචන යාන්ත්‍රණයක් ලෙස වසර හතරක චක්‍රයක් වශයෙන් පවත්වනු ලැබේ. අවසන් වරට ශ්‍රී ලංකාවේ විශ්වීය වාරික සමාලෝචනය පවත්වන ලද්දේ 2017 වසරේ දී ය.

පූර්ව පටිගත ප්‍රකාශයක් හරහා සිය ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා (දූත පිරිසෙ හි ප්‍රධානී), පිළිගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව සිය අවසන් සමාලෝචනයේ සිට මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සහ ජයග්‍රහණ පිළිබඳව අවධාරණය කළේ ය. මෙරට 75 වැනි නිදහස් සංවත්සරය 2023 වසරේ දී යෙදෙන අතර, එය සමාජ-ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව සහ ප්‍රකෘතිමත්භාවය සාක්ෂාත් කරගැනීමට ඉවහල් වන  වසරක් වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. “අතීතයෙන් ඉගෙන ගැනීමත්, වඩාත් මැනවින් සහ ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා ඉදිරියට යාමත් එක සේ වැදගත්” වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මැතිනිය, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් සහ ජාතික ස්වාධීන ආයතන පිළිබඳ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම ඇතුළුව වාර්තාකරණයට අදාළ වූ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යවස්ථාමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළා ය.

අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සංක්‍රමණික කම්කරුවන්, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, දූෂණයට එරෙහිව සටන් කිරීම, සමාජ ආරක්ෂණය, කාන්තාවන්ගේ අයිතීන්, ආබාධ සහිත පුද්ගලයන්, ළමුන්, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර සංවර්ධන ඉලක්ක මත පදනම්ව අත්කර ගත් ප්‍රගතිය යනාදී කරුණුවලට අදාළව විමසන ලද ප්‍රශ්න සහ යොමු කරන ලද ප්‍රතිචාරවලට ශ්‍රී ලංකා දූත පිරිස විසින් ප්‍රතිචාර දක්වන ලදී.

මෙම සමාලෝචනය රටවල් 106 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාධනීය වාතාවරණයක් තුළ පවත්වන ලදී. ඔවුන් එහිදී ඉදිරිපත් කළ ඇගයුම්, අදහස් සහ නිර්දේශ සමඟින් පුළුල් පරාසයක කරුණු ආවරණය කෙරිණි. කොවිඩ් වසංගතය සහ ගෝලීය අර්බුද හේතුවෙන් එල්ල වූ සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, 3 වැනි චක්‍රයේ දී ශ්‍රී ලංකාව පිළිගත් නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳව ශ්‍රී ලංකාව පැසසුමට ලක්විය.

පසුගිය චක්‍රයේ දී ශ්‍රී ලංකාව පිළිගත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සර්බියාව, සැම්බියාව සහ කියුබාව යන රටවල් ශ්‍රී ලංකාව සිය පැසසුමට ලක් කළහ.

"ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ස්ථාපිත කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම" සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් බංග්ලාදේශයේ පැසසුමට ලක්විය. “දැවැන්ත සමාජ-ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මානව හිමිකම් සම්බන්ධයෙන් තමන් සතු බැඳීම් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන සාමූහික ප්‍රයත්න සහ ලබා ඇති ප්‍රගතිය”භූතානයේ ඇගයුමට ලක්විය. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සම්මත කිරීම සම්බන්ධයෙන් නේපාලය ශ්‍රී ලංකාව පැසසී ය. "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳ විවිධ පැතිකඩයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ අනෙකුත් සංවිධානවල සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද මැදිහත්වීම්” ඉන්දියාවේ අවධානයට යොමු විය. "ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කේන්ද්‍රස්ථාන පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන අයවැයක් සකස් කිරීම සහ ලිංගික හිංසන-විරෝධී කමිටු පිහිටුවීම යනාදිය ඇතුළත් කොට, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට එක් කිරීම සඳහා සියලුම ආංශික අමාත්‍යංශවලට ප්‍රතිපත්තියක් හඳුන්වා දීම” සම්බන්ධයෙන් මාලදිවයින ශ්‍රී ලංකා රජයට සිය සුබපැතුම් එක් කළේ ය. “2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (සංශෝධිත) බලාත්මක කිරීම, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මිනිස් ජාවාරම් විරෝධී ජාතික කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාමාර්ග ගැනීම වැනි ව්‍යවස්ථාමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග” මහත් සෙයින් අගය කළ පාකිස්තානය, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ සහයෝගය” අගය කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක ද අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයට කොවිඩ් එන්නත් ලබා දීම පිළිබඳව තායිලන්තය විසින්  ශ්‍රී ලංකාව පසසන ලදී.

"ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීම ඇතුළුව පෙර පැවති සමාලෝචන චක්‍රයෙන් අනතුරුව ශ්‍රී ලංකාව අනුගමනය කළ ධනාත්මක පියවර" ජපානයේ පැසසුමට ලක්විය. තවද, “රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා දීම වැදගත් යැයි තමන් සලකන බවද” ජපානය ප්‍රකාශ කළේ ය.

චිලී, ඊජිප්තුව සහ අයර්ලන්තය යන රටවල් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ හි මෑත කාලීන සංශෝධන අගය කළහ.

“සියලු ආගමික සහ ජනවාර්ගික කණ්ඩායම්වල අයිතිවාසිකම්වලට ගරු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව විදහා දක්වන කැපවීම්” එක්සත් රාජධානියේ ඇගයුමට ලක්විය. තවද, “දේශපාලනික ඇතුළත් කිරීම් සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් මෑත කාලීනව දරන ලද ප්‍රයත්න විශේෂයෙන් අගයන බව” එක්සත් රාජධානිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කිරීම කටාර් රාජ්‍යයේ පැසුසමට ලක්විය. ස්පාඤ්ඤය ද මෙය අගය කළේ ය. "2022 ව්‍යවස්ථා සංශෝධනය" ඇල්ජීරියාවේ පැසුසමට ලක්විය.

" ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනය කර ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය යළි පණගැන්වීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක්” පැවැත්වූ හෙයින් තුර්කිය ශ්‍රී ලංකාව වෙත සිය සතුට පළ කළේ ය.

"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා මෑතක දී අනුමැතිය ලබා දීම” හේතුවෙන් ශ්‍රී ලංකාව පිලිපීනයේ පැසසුමට ලක්විය.

 “ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් තමන් සතු බැඳීම් සඳහා දක්වන නොසැලෙන කැපවීම සහ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ පවත්වන අඛණ්ඩ සහයෝගය” නයිජීරියාවේ පැසසුමට ලක්විය.

 “තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සහ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා නොපිරිහෙලා කටයුතු කිරීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෞදි අරාබියේ පැසසුමට ලක්විය.

"ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ පැවරී ඇති වගකීම් ඉටු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද විශේෂිත ව්‍යවස්ථාමය, ප්‍රතිපත්තිමය සහ ආයතනික පියවර" නැමීබියාව විසින් අගය කරන ලදී.

පුද්ගල ජාවාරමට එරෙහි වීම පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඕමානයේ ඇගයුමට පාත්‍ර විය.

චීනය, රුසියාව, කියුබාව, වෙනිසියුලාව සහ මැලේසියාව ශ්‍රී ලංකාවේ ප්‍රයත්නවලට සහය දක්වමින් සිය ප්‍රකාශ නිකුත් කළහ.

 “දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ජාතික සංහිඳියාව සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙත” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැසසුමට ලක්විය.

විශේෂයෙන්ම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම, ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූරණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) යන කාර්යාලවල කටයුතු මෙන්ම, දේශීය ප්‍රතිසන්ධාන කටයුතු හා සබැඳි ප්‍රයත්න ඇතුළුව ජනතාවගේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයන් තවත් රටවල් කිහිපයක ඇගයුමට ලක්විය. ළමුන්, කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටි පුද්ගලයින් සහ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වැදගත්කම ද රටවල් විසින් අවධාරණය කරන ලදී.විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලිය සමඟ ඵලදායි ලෙස සම්බන්ධ වීම සහ ජාතික වාර්තාව සකස් කිරීමේ දී ශ්‍රී ලංකාව විසින් දරන ලද ප්‍රයත්න බොහෝ රටවල පැසසුමට බඳුන් විය.

"ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා රජය දරන උත්සාහයන්" අගය කළ බෙල්ජියම, අවශේෂ අභියෝග පිළිබඳව අවධානය යොමු කළේ ය.

අසර්බයිජානය, ඉතියෝපියාව, හංගේරියාව සහ වියට්නාමය තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද ප්‍රගතිය පැසසුමට ලක් කළහ. අභියෝග මධ්‍යයේ වුවද සමාජ-ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව සහ මෙරට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න රටවල් කිහිපයක ඇගයුමට ලක්විය.

විශ්වීය වාරික සමාලෝචන ක්‍රියාවලියේ නිරත වූ රජයේ සහ සිවිල් සමාජයේ සියලුම හවුල්කරුවන්ට සහ සමාලෝචනය අතරතුර  අදහස් දැක්වූ නියෝජිත පිරිස වෙත සිය ස්තුතිය පුද කළ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය, ශ්‍රී ලංකාව ලද නිර්දේශ පිළිබඳව දැඩි අවධාරණයෙන් යුතුව සලකා බලන බව ප්‍රකාශ කළා ය.

සමාලෝචනය අවසන් කළ කවුන්සිලයේ සභාපති සහ සැසිවාරයේ සභාපති වන චෙක් ජනරජයේ නිත්‍ය නියෝජිතවරයා, මතු කරන ලද සියලුම ප්‍රශ්නවලට සහ අදහස්වලට පිළිතුරු සපයමින් ‘විශිෂ්ට අයුරින්’ විදහා දැක්වූ සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

විදේශ කටයුතු අලි සබ්රි මැතිතුමා මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේ ය. ජිනීවා නුවර පැවති සැසියට සහභාගි වූ දූත පිරිසට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මැතිනිය, ජනාධිපති ලේකම් කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අතථ්‍ය අයුරින් කොළඹ සිට සහභාගි වූ රේඛීය අමාත්‍යංශ 20කට අධික නිලධාරිහු ඇතුළත් වූහ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

ජිනීවා

2023 පෙබරවාරි 2 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close