ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වියානා නුවර දී ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වියානා නුවර දී ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

වියානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 13 වැනි දින රතෝස් වින් පරිශ්‍රයේ දී (වියනා නගර ශාලාව) රාජ්‍යතාන්ත්‍රික උත්සවයක් පැවැත්වී ය.

වියානා පළාතේ පාර්ලිමේන්තුවේ පළමු සභාපති අර්නස්ට් වොලර් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය. ටිරෝල් පාර්ලිමේන්තුවේ පළමු උප සභාපති වන සොෆියා කර්කර් මහත්මිය, ප්‍රභූවරු, යුරෝපා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යංශයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ ආයතනවල නියෝජිතයින්, වියානා හි සිටින තානාපතිවරුන් සහ නිත්‍ය නියෝජිතයින්, ව්‍යවසායකයින්, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක නියෝජිතයින් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු මෙම උත්සවයට සහභාගි වූහ.

පිළිගැනීම කතාව හරහා සිය අදහස් පළ කළ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිළිබඳව අවධානය යොමු කරමින්, අපගේ ඉතිහාසයේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය තුළින් මතු වූ ප්‍රීතිය සහ අභිමානය රටේ අභියෝග සාමූහිකව විසඳීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සහ අවශ්‍යතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ධෛර්යයක් සහ විශ්වාසයක් ගෙන දෙන ආකාරය පිළිබඳව අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවට පැමිණ එහි සුන්දරත්වය අත්විඳින ලෙස තානාපතිවරයා ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඈත අතීතයේ සිටම ඔස්ට්‍රියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින විශිෂ්ඨ දිගු කාලීන සබඳතා පිළිබඳව සිහිපත් කළ තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා, දෙරටේ පොදු අවශ්‍යතා සහ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් වසර ගණනාවක් මුළුල්ලේ සාධනීය අයුරින් වර්ධනය වී ඇති බව සඳහන් කළේ ය. මෙම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා අඛණ්ඩව වර්ධනය වන බවත්, ශ්‍රී ලංකාවට සහය ලබා දුන් ඔස්ට්‍රියානු රජයට,  එහි මිත්‍රශීලී ජනතාවට සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද අනෙකුත් රටවලට තම ප්‍රශංසාව පළ කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඔස්ට්‍රියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා පිළිබඳව අවධාරණය කළ අර්නස්ට් වොලර් මහතා, වියානා නුවර සහ ශ්‍රී ලංකාවේ නගර අතර පවත්නා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළේ ය. පළමු සභාපති වොලර් මහතා 1980 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ අතර, එතැන් සිට 10 වතාවකට වඩා වැඩි වාර ගණනක් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වී ඇත. මෙම නිරන්තර සංචාර පිළිබඳව සඳහන් කළ එතුමා, ශ්‍රී ලංකාව සහ තමන් අතර පවතින විශේෂ සබඳතාව පිළිබඳව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් වියානා නුවර නගරාධිපති සහ ආණ්ඩුකාරවරයා වන මයිකල් ලුඩ්විග් මැතිතුමා සහ සහ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ අර්නස්ට් වොලර් මැතිතුමා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකාව සහ තම රට සහ කලාපය අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සඳහා පිළිවෙලින් වසර 28 ක් සහ වසර 18 ක් මුළුල්ලේ ලබා දුන් සැලකිය යුතු දායකත්වය අගයමින්, සර්බියානු ජනරජයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ලිලියානා කාසිම් මහත්මිය සහ ඔස්ට්‍රියාවේ ස්ටයිරියාව සහ කැරින්තියාව සඳහා වන ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එඩිත් හෝර්නිග් මහත්මිය වෙත සමරු තිළිණ පිරිනමන ලදී. එමෙන්ම, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා වසර 25 ක් මුළුල්ලේ ලබා දුන් දායකත්වය වෙනුවෙන් චන්න-උපුලි රංග කලා පදනමේ නිර්මාතෘ වන  ආචාර්ය චන්න විජේවර්ධන මහතා මෙහිදී ඇගයුමට ලක් කෙරිණි.

චන්න - උපුලි රංග කලා පදනමේ නර්ථන කණ්ඩායමේ සාම්ප්‍රදායික නර්ථනාංග මෙන්ම වර්ණවත් හා අලංකාර නර්ථන වස්ත්‍රභරණ, මෙම අවස්ථාවට සහභාගි වූවන් ප්‍රබෝධමත් කිරීමට සමත් විය. ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර වර්ග මෙන්ම ලොව පුරා කීර්තියට පාත්‍ර වූ ලංකා තේ රසවිඳීමේ අවස්ථාව ද මෙහිදී ඔවුන්ට හිමි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 පෙබරවාරි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close