විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය පීටර් රම්සෝවර් මහතා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය පීටර් රම්සෝවර් මහතා හමුවෙයි

ජර්මනිය ශ්‍රී ලංකාව සමඟ පවත්වන ද්විපාර්ශ්වික සබඳතා භාරව සිටින ජර්මානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු වන ආචාර්ය පීටර් රම්සෝවර් මහතා 2023 පෙබරවාරි 15 ​​සිට 18 යන දිනවල ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරන බැවින්, දෙරට අතර පවතින සුහද සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව කේන්ද්‍ර කරගනිමින් මෙම ජර්මානු දූත පිරිස සමඟ සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ ජර්මනිය පවත්වන දිගුකාලීන සංවර්ධන සහයෝගිතා හවුල්කාරිත්වය අගය කළ අමාත්‍ය සබ්රි මැතිතුමා, රට පුරා පිහිටි ජර්මානු තාක්ෂණික පුහුණු ආයතන මගින් සපයනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලා ව්‍යාප්ත කිරීම හරහා ආර්ථිකයට ලබා දුන් සුවිශේෂී දායකත්වය පිළිබඳව අවධාරණය කළේ ය. ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර පවතින සමීප සහයෝගිතාව පිළිබඳව ප්‍රසාදය පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා ගාල්ලේ ඉදි කරන ලද “හෙල්මුට් කොහ්ල්” (Helmut Kohl) මාතෘ රෝහලේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කළේ ය. වෙළඳ සහ ආයෝජන, සංචාරක සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් පවතින සහයෝගිතාව පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කළහ. සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය ඇතුළුව මෙරට වත්මන් දේශපාලන ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ජර්මානු පාර්ශ්වය දැනුම්වත් කළේ ය.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති හොල්ගර් සූබර්ට් මැතිතුමා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මියුනික් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ඩැග්මාර් වෝල් මහත්මිය ආචාර්ය රම්සෝවර් මහතා සමඟ මෙම අවස්ථාවට සහභාගි වූ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මෙම හමුවට සහභාගි වූහ.

ආචාර්ය රම්සෝවර් මහතා මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද හමුවිය. තවද එතුමා සිය දූත පිරිස සමඟ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 21 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close