රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2023 පෙබරවාරි 04 වැනි දින රෝමයේ පිහිටි සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සැමරුවේ ය. මගුල්බෙර වාදනය අතුතරතුර තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා විසින් ජාතික ධජය ඔසවන ලදී. අනතුරුව සිංහල සහ දමිළ යන භාෂාවලින් ජාතික ගීය ගායනා කිරීමත් සමඟ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරන ලදී.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කතානියා බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය වගේගොඩ සීලානන්ද හිමියන් සහ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ ජාතික සම්බන්ධීකාරක ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමන් විසින් ආගමික වතාවත් පවත්වන ලදී.  සංඝරත්නය හා කතෝලික පූජකවරුන්, තානාපතිවරුන්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කළ කිහිප දෙනෙකු විසින් සාම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වන ලදී.

බෞද්ධ හා කතෝලික පියතුමන්ලාට දානය පිරිනැමීමෙන් අනතුරුව සහ සහභාගි වූ සියලුම දෙනාට සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ජාතික ධජය එසවීමේ උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික උත්සවයක් තානාපති කාර්යාලය විසින් පෙබරවාරි 06 වැනි දින රෝමයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, ඉතාලියේ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, රෝමය පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල නියෝජිතයන්, ඉතාලි රජයේ නිලධාරීන්, ඉතාලි විශ්වවිද්‍යාලවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී සිය අදහස් පළ කළ තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා මෑත කාලීනව විවිධ සහයෝගිතා ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව අවධාරණය කළේ ය. තවද, යුරෝපා සංගමයේ සාමාජිකයෙකු ලෙස ද්විපාර්ශ්වික මට්ටමෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් ද ඉතාලිය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ඉතාලිය යනු ශ්‍රී ලාංකිකයන්ට සංක්‍රමණය වීමටත්, රැකියාවල නිරත වීමටත් වඩාත් යෝග්‍ය, ප්‍රියතම යුරෝපා ගමනාන්තයක් බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 100,000 කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉතාලියේ ජීවත් වන බවත්, එහි සේවය කරන බවත් සඳහන් කළ එතුමා, ඔවුන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිතව  වැදගත් භූමිකාවක් ඉටු කරන බවත්, ඔවුන්ගේ ප්‍රේෂණ, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒම සඳහා ඉවහල් වන  සුවිශේෂී මූලාශ්‍රයක් වන බවත් වැඩිදුර සඳහන් කළේ ය.

මෙම  උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ රාජ්‍යතාන්ත්‍රික සන්ධාන කටයුතු අංශයේ තානාපති බෲනෝ ඇන්ටෝනියෝ පස්කිනෝ මහතා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කරමින් සිය දේශනය පැවැත්වී ය. ඉතාලි විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානී සහ උපදේශක ජොවන්නා පිකාරෙටා මහත්මිය, දෙරට අතර පවතින ශක්තිමත් සහ සුහද සබඳතා පිළිබඳව අවධාරණය කළා ය.

ඉතාලියේ වෙසෙන සහ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනාංග වන ගජගා වන්නම සහ වඩිග පටුන මෙන්ම සම්ප්‍රදායික ඉන්දියානු නර්තනයක් වන කතකලි නර්තනය ද පැමිණ සිටි පිරිස හමුවේ ඉදිරිපත් කළහ.

 "සන්ධ්‍යාව" යන  තේමාව යටතේ සියලුම අමුත්තන්ට සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2023 පෙබරවාරි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close