ශ්‍රී ලංකාව න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය පිළිබඳ ආසියාන් කලාපීය සංසදයේ 15 වැනි අන්තර් සැසිවාර රැස්වීමේ සම සභාපතිත්වය දරයි.

 ශ්‍රී ලංකාව න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය පිළිබඳ ආසියාන් කලාපීය සංසදයේ 15 වැනි අන්තර් සැසිවාර රැස්වීමේ සම සභාපතිත්වය දරයි.

ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය, 2024 අප්‍රේල් 29 වැනි දින සිට මැයි 01 වැනි දා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හවායි නුවර පැවැති න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය පිළිබඳ ආසියාන් කලාපීය සංසදයේ 15 වැනි අන්තර් සැසිවාර රැස්වීමෙහි සම සභාපතිත්වය දැරීය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ 14 වැනි  ආසියාන් කලාපීය සංසදයේ අන්තර් සැසිවාර රැස්වීම කොළඹදී පැවැත්වීමෙන් අනතුරුව මෙම රැස්වීම සංවිධානය කරන ලදී.

අග්නිදිග ආසියා කලාපයේ උපාය මාර්ගික අවදානම් අවම කිරීමෙහි සහ ආරක්ෂාව හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා  න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී ලෙස භාවිතය, නව්‍ය සහ නැගී එන තාක්ෂණය යොදා ගැනීම, සංවාද සහ සහයෝගීතාව, න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය සම්බන්ධ අප්‍රතිවර්ත්‍යතාව, සත්‍යාපනය සහ පාරදෘශ්‍යභාවය සහ නිරායුධකරණ කතිකාවට  ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කාර්යභාරය සහ තරුණයින්ගේ සහභාගීත්වය ඇතුළුව කාලීන වැදගත්කමක් දරන ක්ෂේත්‍ර  සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැලේසියාව, මොංගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවල නියෝජිතයන් මෙම සංසදයට සහභාගී වූ අතර ඔවුහු දෙදින රැස්වීම අතරතුර ක්‍රියාකාරී සාකච්ඡාවල නිරත වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ අතිරේක ලේකම්, මොහොමඩ් ජවුහර් මහතා න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය සම්බන්ධ අප්‍රතිවර්ත්‍යතාව, සත්‍යාපනය සහ පාරදෘශ්‍යභාවයෙහි වැදගත්කම පිළිබඳ සැසිවාරයේදී විද්වත් මණ්ඩල සාමාජිකයෙකු ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වෙමින් වසර ගණනාවක් පුරා ගෝලීය නිරායුධකරණ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ දායකත්වය සහ මේ සම්බන්ධයෙන් විස්තීරණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමේ අදාළත්වය පිළිබඳ අවධාරණය කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මෙනවිය රැස්වීමේ සම මුලසුන දැරූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මැක්ස්වෙල් කීගල් මහතා විසින් න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය හා සම්බන්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ තාරුණ්‍යය පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාව මෙහෙයවන ලදී.

සාමාජිකයින් අතර උපායමාර්ගික සංවාද, සහයෝගීතාව සහ විශ්වාසය ගොඩනැඟීම සඳහා වැදගත් අවස්ථා සපයන ආසියාන් කලාපීය සංසද රැස්වීම් සඳහා 2007 වසරේ සිට එම සංසදයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close